පසුගිය දින වල අහන්නට ලැබුණු පුවතක් තමයි Huawei සමාගමේ CFO ව ඇමෙරිකාවේ ඉල්ලීමක් පිට කැනඩාවේදී අත්අඩංගුවට පත් වුණා කියන ප්‍රවෘත්තිය.

මේ Meng Wanzhou කියන්නේ Huawei සමාගමේ හිමිකරුගේ දියණිය වන අතර මැය Huawei Technologies සමාගමේ Chief Financial Officer වෙනවා. ඇමෙරිකාවේ සම්බාධක නොසළකා හැර මැයගේ මූලිකත්වයෙන් ඉරාණය සමඟ වෙළඳ කටයුතු පැවැත් වූවා යන්න මැය අත්අඩංගුවට ගැනීමට ප්‍රධානම චෝදනාව ලෙස ඇමෙරිකාව පෙන්වා දෙනවා.

ඉතින් මේ සමඟින් චීනය සහ ඇමෙරිකාව අතර විශාල ගැටළු රැසක් ඇති වන්නට පටන් ගත් අතර Qualcomm සමාගම, Huawei සමාගම හා Apple සමාගම වැනි ආර්ථික දැවැන්තයන් අතර තිබූ ප්‍රශ්න මේ මගින් දුරදිග යන්නට බළපෑමක් සිදු වුණු බව අපිට දකින්නට ලැබුණා.

පසුගිය දින වල Apple සමාගමේ නිෂ්පාදන චීනයෙහි අලෙවි කිරීම තහනම් කිරීමට ද මෙය හේතුවක් වූ බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන අතර මේ වන විට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල Huawei නිෂ්පාදන අලෙවි කිරීම ද තහනම් කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

කොහොම නමුත් මේ Huawei සමාගමේ නිෂ්පාදන අලෙවි කිරීම අඩාල නොවී තබා ගැනීමට මෙන්ම මේ අවස්ථාවේදී Huawei සමාගමට උදව් කිරීම වෙනුවෙන් චීන ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කරන බව මේ වන විට දකින්නට ලැබෙනවා.

මේ අනුව චීන සමාගම් 20කට අධික ප්‍රමාණයක් විසින් තම සේවකයන් Apple නිෂ්පාදන ඉවත් කර Huawei නිෂ්පාදන මිලට ගැනීම සඳහා යොමු කරවමින් සිටින අතර මේ වෙනුවෙන් අදාල ආයතන වලින් තම සේවකයන් හට ගෙවීමක් ද සිදු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

උදාහරණයක් ලෙස Shanghai Youluoke Electronic and Technology සමාගම විසින් ඔවුන් යටතේ සේවය කරනු ලබන සේවකයන් සියළු දෙනාහටම ඔවුන් Huawei දුරකථනයක් මිලදීගන්නා විට යුවාන් 100 සිට යුවාන් 500 දක්වා මුදලක් ආයතනය විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම අවස්ථාව ජංගම දුරකථන දෙකක් දක්වා එක් පුද්ගලයෙකුට ලබාගත හැකි වෙනවා.

මේ අතර තවත් ආයතන විසින් Apple නිෂ්පාදන තම සේවා ස්ථානයට රැගෙන එන්නන් හට දඩ නියම කිරීමට හෝ ඔවුන් සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කරනු ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා Fox Business වෙබ් අඩවිය, qz වෙබ් අඩවිය හා Outbound Today වෙබ් අඩවිය භාවිතා කළ හැක.