චීනයේ දැවැන්තම ව්‍යාපාරයක් වන Alibaba ආයතනය පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙකු නැති තරම් වන අතර, මේ වන විට මෙම ආයතනයට විරුද්ධව දැවැන්ත දඩ මුදලක් නියම කිරීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ඇමෙරිකානු ඩොළර් බිලියන 2.8ක්, එනම් චීන යුවාන් බිලියන 18.2ක මුදලක් මෙලෙස දඩ මුදලක් වශයෙන් නියම කිරීමට කටයුතු කර ඇති අතර, මෙය 2019 වර්ෂයේ එම ආයතනයේ දේශීය ආදායමෙන් 4%ක් වන බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම දඩ මුදල නියම කිරීමට හේතුව වන්නේ Alibaba ආයතනය විසින් චීනයේ පවතින anti-monopoly නීති, එහෙමත් නැතිනම් (වෙළඳ) ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට විරුද්ධව පවතින නීති උල්ලංඝනය කිරීම වන අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මීට අදාල විමර්ශන කටයුතු ආරම්භ කිරීමට චීන රජය කටයුතු කර තිබෙනවා.

මෙම විමර්ශන වලින් අනාවරණය වී ඇති ආකාරයට Alibaba ආයතනය විසින් ඔවුන් සමඟින් එකතු වන අලෙවිකරුවන් හට (sellers), Alibaba වැනි වෙනත් ආයතන හා platforms භාවිතා කරමින් ඔවුන්ගේ වෙළඳ කටයුතු සිදු කිරීමේ අවස්ථාව අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

Alibaba ආයතනය විසින් වෙළඳපොල ඒකාධිකාරයක් පවත්වාගැනීම සඳහා කටයුතු කර ඇති බවත්, මේ හරහා අනෙකුත් platforms වල වර්ධනයට හා ඔවුන්ගේ නවෝත්පාදන වලට විශාල හානියක් සිදු වී ඇති බවත් චීන වෙළඳ නියාමනය පිළිබඳව වන රාජ්‍යය ආයතනය විසින් පෙන්වා දී තිබෙනවා.

මෙම අතිවිශාල දඩ මුදල පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් Alibaba ආයතනය පවසා සිටින්නේ තමන් මෙම තීන්දුවට යටත් වී අදාල දඩ මුදල ගෙවීමට සූදානම් බවත්, ඉදිරියේදී තම ආයතනය වගකීම්සහගත ලෙස කටයුතු කිරීම සඳහා වන කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ලබන බවයි.

A Letter to Our Customers and to the Community | Alizila
Dear Alibaba merchants, consumers, partners and shareholders, Today Alibaba Group received the Administrative Penalty Decision issued by the State

කොහොම නමුත් Alibaba ආයතනයෙහි 2020 වර්ෂයේ අවසන් මාස තුනෙහි පමණක් ශුද්ධ ලාභය ඩොළර් බිලියන 12ක් වන අතර මෙය ඉතා විශාල දඩ මුදලක් වුවත් Alibaba ආයතනයේ ආදායම අනුව ඉතාමත් සුළු මුදලක් වන බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Alizila වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.