Happy B'Day, Google! 🥳

අන්තර්ජාලයෙන් යමක් සොයනවා යන්න Google කිරීම නමින් හැඳින්වීමට තරම් අන්තර්ජාලය සහ Google යන වචන ද්විත්වය එකට බැඳී පවතින බව කොයි කවුරුත් දන්නා කාරණයක් වෙනවා.

මේ වන විට ලොව අතිශය ජනප්‍රිය සහ ලොව වැඩිම පිරිසක් භාවිතා කරන සෙවුම් යන්ත්‍රය බවට පත්ව ඇති Google ආයතනය, අද දින, එනම් සැප්තැම්බර් 27 වැනි දින සිය 22 වැනි උපන්දිනය සමරනවා.

Google’s 22nd Birthday Doodle

එවකට කැලිෆෝනියාවේ Stanford විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටි Larry Page හා Sergy Bin යන දෙදෙනා විසින් 1998 සැප්තැම්බර් මස 4 වැනි දින Google සමාගම ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලැබූ නමුත්, මෙය ආරම්භ කළ දිනය ලෙස ඔවුන් සැමරීමට කටයුතු කරනු ලබන්නේ සැප්තැම්බර් 27 වැනි දිනයයි.

"Googol" යන වචනය පදනම් කරගනිමින් මෙම සෙවුම් යන්ත්‍රයට "Google" යන නම ලබාදීමට කටයුතු කරනු ලැබුවේ ද, මෙම නිර්මාපකයින් දෙදෙනා විසින්මයි.

ආරම්භ කළ මුල් අවධියේ දී Yahoo සහ Ask Jeeves යන සෙවුම් යන්ත්‍ර වලට බොහෝ පිටුපසින් සිටියත් වර්තමානයේ දී එය තත්පරයට සෙවුම් 63,000 ක් තරම් ඉහළ පරාසයක සෙවුම් සිදුකරන ලොව ප්‍රධානම Search Engine එකක් මෙන්ම, ‍ඇමෙරිකානු ඩොළර් ට්‍රිලියනයකට අධික වටිනාකමකින් යුතු සමාගමක් ද වෙනවා.

කලින් සඳහන් කළ පරිදිම "Google" යන වචනය 2006 දී පමණ ක්‍රියා පදයක් ලෙස Oxford English Dictionary එකට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර එහි අර්ථය වන්නේ " Search for something online - අන්තර් ජාලයෙන් යමක් සෙවීම" යන්නයි.


මේ වන විට යුරෝපා රටවල්, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවකට නිළ Google stores හරහා තෝරාගත් Google උපාංග සඳහා 22% ක මිළ අඩු කිරීමක් හෝ Google credit ලබාදීමක් යටතේ මිලදීගැනීමේ හැකියාව ලබාදීමට ද Google සමාගම කටයුතු කර ඇති බව දැකගතහැකි වෙනවා.

මේ අනුව Nest Hub Max, Nest Wifi, Chromecast, Nest Hub, Nest Mini, Stadia Premiere Edition, Nest Protect, Nest Cam IQ, Nest Cam Outdoor, Nest Cam Indoor යන උපාංග මිලදීගැනීමේදී GOOGLEBDAY22 යන coupon code එක ඇතුලත් කිරීමෙන් මෙම මිළ අඩු කිරීම ලබාගත හැකි නමුත් තවමත් ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් වලට මෙය ලබාදී ඇති බවක් නම් වාර්ථා වන්නේ නැහැ.


ඉතින්, ශ්‍රී ලාංකික අපිටත් අතිශයින්ම හුරුපුරුදු හා නැතිවම බැරි Google වෙත Techie Team එකේ අපත්, ශ්‍රී ලාංකිකයින් ලෙස සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම Google සමාගම පිළිබඳව තවත් බොහෝ තොරතුරු රැගත් සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.