Amazon සමාගමේ doorbell නිෂ්පාදනය කරනු ලබන Ring සමාගම විසින් Always Home Cam නමින් නවතම මාදිලියක ගෘහ ආරක්ෂණ කැමරාවක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මෙම කැමරාව Drone තාක්ෂණය මත පදනම් ව නිර්මාණය කර ඇති ඉතාම හුරුබුහුටි පෙනුමක් සහිත උපාංගයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ කැමරාව සහිත Drone එක පියාසර කරන විට ඉදිරියෙන් ඇති බාධක ස්වයංක්‍රීයව වළක්වා ගෙන පියාසර කිරීමට හැකි සුපිරි තාක්ෂණයකින් මෙම කැමරාව සන්නද්ධ වීමයි.

මේ නිසා නිවස තුළ ඇති කිසිදු ගෘහ භාණ්ඩයක පැටලෙන්නේ නැතිව පියාසර කිරීමට මෙම උපාංගය සමත් වෙන අතර එය Ring Alarm System එකටද සම්බන්ධ කිරීමටද හැකියාව තිබෙනවා.

ඔබ නිවසේ නොමැති විටක නිවස තුළ සහ අවට සිදුවන දේවල් මෙම නවතම Drone කැමරාව ඔස්සේ ඔබේ දුරකතනයෙන් හෝ වෙනත් ඕනෑම Smart උපාංගයක් ඔස්සේ ඕනෑම තැනක සිට නැරඹීමේ හැකියාව තිබෙන අතර, ඔබට මෙහි ගමන් මාර්ගය Settings ඔස්සේ සකස් කිරීමටද හැකියාව තිබෙනවා.

තනි කැමරාවකින් යුත් මෙම Always Home Cam උපාංගයට 1080p තරම් ඉහළ විභේදනයකින් වීඩියෝ ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ගමන් මාර්ගය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එයට ස්වයංක්‍රීයව Charging Dock එක වෙත පැමිණ සම්බන්ධ වී නැවත ආරෝපණය වීමටද හැකියාව තිබෙනවා.

$250 ක පමණ මිල වෙතැයි අනුමාන කරන මෙම නවතම උපාංගය ලබන වසරේදී වෙළඳපොලට නිකුත් කිරීමට Ring සමාගම සූදානමින් සිටිනවා.

Ring යනු smart home සහ home security සම්බන්ධ electronic උපාංග නිපදවන, Amazon සමාගමටම අයිති අනු සමාගමක් වන අතර, මෙය 2013 දී පමණ ආරම්භ කරන ලදුව මේ වන විට ඉතාමත් සාර්ථක home security උපාංග හා සේවා සපයන සමාගමක් බවට පත්ව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.