Racing පාපැදි නිෂ්පාදනයේ ප්‍රචලිත සමාගමක් වන Canyon සමාගම විසින් මේ වන විට Bike-Car Hybrid රථයක Concept මාදිලියක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

බයිසිකල් හා මෝටර් රථ තාක්ෂණයන් දෙමුහුන් කර නිර්මාණය කර ඇති මෙයට එම දෙවර්ගයේම රථ සඳහා ඉදිකර ඇති මාර්ග වල ධාවනය කිරීමට හැකියාව තිබෙන බව මෙම සමාගම පෙන්වා දෙනවා.

මෙම රථයට සවිකර ඇති වහලය මඟින් වැසි සහිත අවස්ථාවකදී කැබින් එක සම්පූර්ණම වියළිව තබා ගන්නා අතර වැසි රහිත විටෙක අවශ්‍ය නම් හකුලා තැබිය හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම මෙම රථයට ‍පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකට ළඟාවිය හැකි බවත්, මෙම රථය තුළ එක් පුද්ගලයකුට පමණක් ගමන් කිරීමේ හැකියාව ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

83cm පළල, මීටර් 1ක උසකින් හා මීටර් 2.5 ක දිගකින් යුත් මෙහි බර 95kg ලෙස සටහන් වන අතර එක් වරක් ආරෝපණය කිරීම හරහා අවම වශයෙන් කිලෝමීටර 100 කට ආසන්න දුරක් ධාවනය කළ හැකි බව ද  ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Canyon  සමාගම වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙම රථය නිර්මාණය කරමින් සිටින බව වාර්තා වන අතර එය මීළඟ වසර 5 හෝ 6 ඇතුළත ඇතුලත actual production එකක් බවට පත් පත්කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වෙනවා.

එමෙන්ම එහි මිල $5,000 - $7,500 අතර වෙනු ඇති බව පැවසෙන අතර දිගු දුර ධාවනය සඳහා නොව කෙටි දුර ධාවනය සඳහා සුදුසු වාහනයක් ලෙස පාරිභෝගිකයන් අතර මෙම රථය ජනප්‍රිය වනු ඇති බව Canyon සමාගම අපේක්ෂා කරනවා.

රථය සම්බන්ධ වෙනත් තාක්ෂණික තොරතුරු විශාල ලෙස අනාවරණය වී නැති නමුත් මෙය විදුලියෙන් ක්‍රියාකරන Qruadicycle එකක් වනු ඇති බව අනුමාන කළ හැකියි.

නමුත් මෙවැනි රථයකට මහා මාර්ගයක ධාවනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම තවම සකස් වී නැති අතර ඒ නිසා Canyon සමාගමට මෙම concept රථය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් රථයේ තාක්ෂණික අභියෝග මෙන්ම මෙම නීතිරීති සම්බන්ධ අභියෝග වලට ද මුහුණ දීමට සිදුවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය සහ Autoevolution වෙබ් අඩවිය භාවිතා කළ හැක.