Foldable, එහෙමත් නැතිනම් නම්‍යශීලී ජංගම දුරකථන යථාර්ථයක් බවට පත් වී මේ වන විට වසර කිහිපයක් ගත වී තිබෙන අතර මෙම ක්ෂේත්‍රයේ වඩාත් ම කියවෙන්නේ Samsung, Huawei හා Motorola යන සමාගම්වල නම් පමණයි.

මේ අතර Apple සමාගම ද foldable උපාංගයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින බවට කටකතා පැතිර ගියත්, තවමත් මේ පිළිබඳව Apple සමාගම විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.

කොහොම නමුත් ජනප්‍රිය සහ විශ්වාසනීය Tech news leaker කෙනෙකු වන ජෝන් ප්‍රොසර් විසින් Apple සමාගමේ මෙම නව උපාංගය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති අතර ඔහුට අනුව Apple සමාගම විසින් ඇත්ත වශයෙන්ම එවැනි උපාංගයක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බව වාර්තා කරනවා.

ඒ අනුව Apple සමාගමේ මෙම නව උපාංගය සැබැවින්ම නම්‍යශීලී තිරයකින් යුක්ත නොවනු ඇති බවත් එය තිර දෙකක් සම්බන්ධිත තනි උපාංගයක් වනු ඇති බවත් ඔහු පවසනවා.

කොහොම නමුත් unfold කල විට තිර දෙකක් තිබෙන බව හඳුනා ගත නොහැකි ලෙස එය තනි තිරයක පෙනුම ලබාදෙන බව වැඩි දුරටත් වාර්තා වන අතර එම තොරතුරු අනුව Apple සමාගමේ මෙම නව උපාංගය Microsoft Duo එක ට සමාන බව අනුමාන කළ හැකි වෙනවා.

Google සමාගම ද 2021 වනවිට foldable Pixel උපාංගයක් නිකුත් කරන්නට සූදානමින් සිටින බව අපි මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති.

2021 වර්ෂයේදී Foldable Pixel ජංගම දුරකථනයක් නිකුත් කිරීමට Google සමාගම සූදානම් වන ලකුණු
Foldable උපාංග යනු වර්තමානයේ මිල අධික, නමුත් ජංගම දුරකතන වෙළෙඳ පොළ තුළසාර්ථකත්වයක් අත් කරගත් දුරකථන මාදිලියක් වෙනවා. දැනට Huawei, Samsung හා Motorola යන සමාගම් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වී සිටිනඅතර මෙම Foldable දුරකථන තරගයට ඇතුළු වීම සදහා Google සමාගම ද සූදානම් වන බව මේ වනවිට වාර්තා වෙනවා. “Bar…

මේ අතර Huawei හා Motorola යන සමාගම් සිය foldable උපාංගවල නව මාදිලි නිකුත් කිරීමට සූදානමින් සිටින අතර Samsung සමාගමද, මිලෙන් අඩු foldable උපාංගයක් ඇතුළු නව foldable උපාංග තුනක් නිකුත් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙම තොරතුරු අනුව ලොව ප්‍රධාන පෙලේ සියලුම තාක්ෂණික සමාගම් foldable උපාංග සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන නිසා, තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් මූලාශ්‍ර නොමැති වුවද, Apple සමාගම ද folding උපාංගයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා යන පුවත පහසුවෙන් බැහැර කළ නොහැකි කරුණක් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, BGR වෙබ් අඩවිය සහ Toms Guide වෙබ් අඩවිය භාවිතා කළ හැක.