Foldable උපාංග යනු වර්තමානයේ මිල අධික, නමුත් ජංගම දුරකතන වෙළෙඳ පොළ තුළ සාර්ථකත්වයක් අත් කරගත් දුරකථන මාදිලියක් වෙනවා.

දැනට Huawei, Samsung හා Motorola යන සමාගම් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වී සිටින අතර මෙම Foldable දුරකථන තරගයට ඇතුළු වීම සදහා Google සමාගම ද සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා.

"Barbette" , “Raven,” “Oriole,” හා “Passport" යන Codename සහිතව ජංගම දුරකථන මාදිලි කිහිපයක් 2021 වර්ෂ‍ය වන විට Google සමාගම විසින් නිකුත් කිරීමට සූදානමින් සිටින බව 9to5google වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ අතරින් "Barbette" යනු Pixel 5 දුරකථනය විය හැකි බවත්, "Raven" හා "Oriole" යන ද්විත්වය Pixel 6 හි මාදිලි ද්විත්වයක් විය හැකි බවත්, මෙහි සඳහන් "Passport" නම් මාදිලිය foldable උපාංගයක් වියහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

2019 වසරේ සිටම Google සමාගම විසින් foldable උපාංගයක අත්හදාබැලීමේ කටයුතු සිදුකරනු ලබන බව පසුගිය වසරේදී වාර්තා වූ අතර Pixel ජංගම දුරකථන නිෂ්පාදනයේ ප්‍රධානියා වන Mario Queiroz මහතාද එම තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මිලෙන් වැඩි දුරකථනයක් පාරිභෝගිකයන් අතට පත්කිරීම සඳහා තිරය පුළුල් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

මේ හේතුව නිසාවෙන් Google සමාගම විසින් foldable උපාංගයක් නිකුත් කරයි ද නැද්ද යන්න පිළිබඳව සැක සහිත බවක් ඇති වී තිබුණා.

කොහොම නමුත් මෙම නවතම හෙලිදරව්වත් සමගින් එය වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර මෙම වාර්තාව පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේ ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන කාලය තුළ ඉහත සඳහන් කරන ලද Codename වලින් යුත් දුරකතන මාදිලි වෙළෙඳපොළට පැමිණීමට විශාල ඉඩක් පවතින බවයි.

කෙසේ වුවත් මීට පෙර "Muskie" නම් Codename එකෙන් යුතු Pixel 2XL මාදිලියක් පිළිබඳව කට කතා පැතිරී ගියද එවැනි මාදිලියක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු නොකළ නිසා ඉහත සඳහන් සෑම Codename එකකින්ම උපාංගයක් වෙළඳපොලට පැමිණෙනු ඇත්දැයි නිශ්චිතවම පැවසිය නොහැකි බවත් මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.