ඇපල් සමාගම iOS 11.3.1 එළිදැක්වීමෙන් මසකට පමණ පසුව පසුගියදා (මැයි 29) එහි නවතම අණුකරණය වන iOS 11.4 එම සමාගමේ උපකරණ පාවිච්චි කරන ජනතාව වෙත නිකුත් කෙරුණා.

මෙම අණුකරණය බොහෝ ආරක්ෂාකාරී, වෙනත් උපකරණ සමග අනුකූලව මනාලෙස වැඩකිරීමේ වැඩිදියුණු කළ පහසුකම් හා විධි විධාන රැසක් රැගත් එකක් වන අතර ඒ හා සමග නව විශේෂාංග කිහිපයක්ද ඇතුලත් වූවා.

සැළකියයුතු විශේෂාංග අතර මුල් තැනක් ගනු ලබන්නේ Messages in iCloud හා AirPlay 2 යන ඒවායි.

iOS 11.4 Release Notes

iOS 11.4 Release Notes

Messages in iCloud යන්නෙන් ඔබ සතු සියලු කෙටි පණිවිඩ, iMessage පණිවිඩ සියල්ල iCloud එකට බැකප් වන අතර එමගින් දැන් ඔබට එම සියලු තොරතුරු ඔබ සතු සියලුම ඇපල් උපාංග ඔස්සේ එක ලෙස කළමණාකරනය කළ හැක. මේ සදහා ඔබ ඒ උපාංග සියල්ලෙම ඔබට අදාල Apple ID ගිණුමෙන් login වී සිටිය යුතු අතර මෙමගින් ඔබගේ තොරතුරුවල ආරක්ෂාව තවත් ඉහල යනු ඇති. iCloud එකෙහි තැන්පත් වී ඇති ඔබේ තොරතුරු කිසිවෙකුටත් ඔබගේ අවසරය නොමැතිව කියවිය නොහැකි අතර සියලු තොරතුරු end-to-end encryption තාක්ෂණයකින් ආරක්ෂිත කොට ඇත.

iOS 11.4 Messages in iCloud

තවදුරටත් මේ පිලිබදව විස්තර කරන්නේනම් Messages in iCloud විශේෂාංගය ක්‍රියාත්මක කර ඇති ඇපල් උපාංගයකින් ඔබ සතු පණිවිඩයක් මකා දැමුවහොත්, එම මකා දැමීම iCloud හරහා sync වී ස්වයංක්‍රීයව පෙරකී ලෙස ඔබ සතු සියලු ඇපල් උපාංග වලින් එම පණිවිඩය මැකීයනු ඇති. මෙනිසා තවදුරටත් ඔබට එක් එක් උපාංගයේ ඔබට අවශ්‍ය එකම වෙනස් කිරීම කිහිප වතාවක් සිදුකිරිම අවශ්‍ය නොවේ.

මෙයත් සමග අඩංගු වූ තවත් විශේෂාංගයක් වූයේ AirPlay 2 යන්නයි. මෙය පෙරසිටම iOS මෙහෙයුම් පද්ධතියේ අඩංගු වූ AirPlay විශේෂාංගයේම වැඩිදියුණු කරන ලද අණුකරණයකි. මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක් හෝ podcast එකක් ඔබ සතු ඕනෑම HomePod, Apple TV හෝ වෙනත් AirPlay supported උපාංගයක් වෙත stream කළ හැක. නවතම AirPlay 2 අණුකරණයත් සමග මෙම පහසුකම තව දුරටත් වැඩිදියුණු කර ඇත. දැන් එමගින් ඔබට ගීත හෝ podcasts කිහිපයක් එකම අවස්ථාවේදී HomePod, Apple TV හෝ වෙනත් AirPlay supported උපාංග රැසකට stream කළ හැක. එපමණක් නොව ඒ ඒ stream channel එකෙහි ශබ්දය ඔබට වෙන වෙනම වෙනස් කළ හැක.

iOS 11.4 AirPlay 2

මදකට සිතා බලන්න, ඔබගේ නිවසේ සාලයේ ඇති Apple TV එකෙහි ඔබ කැමති සිනමා චිත්‍රපටයක් stream වන අතරතුර එවේලේම ඔබේ ප්‍රියයන් කැමති ගීතයක් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ කාමරයෙහි ඇති HomePod එක හරහා ඔබ ඔබේ චිත්‍රපටය බලන තැනින් අඩියක්වත් නොසෙල්වී stream කිරීමට හැකීයාවක් තිබුනොත් ඔබගේ කාලයත් ඉතුරු කරගැනීමට හැකිවනවා සේක්ම ඔබගේ වින්දනයටත් බාධා නොවනු ඇති. මෙම iOS 11.4 අණුකරණයේ ඇති AirPlay 2 විශේෂාංගයට පින්සිදුවන්නට දැන් එය තවදුරටත් සිහිනයක් නොවේ.

iOS 11.4

තවත් විශේෂාංග බොහොමයක් රැගත් මෙම iOS 11.4 අණුකරණය දැන් ඔබගේ iPhone X, iPhone 8, iPhone 8 Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 6, iPhone 6 Plus, iPhone SE, iPhone 5s, 9.7‑inch and 12.9‑inch iPad Pro, 2nd generation 10.5-inch හා 12.9-inch iPad Pro, 5th හා 6th generation iPad, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Air, iPad Air 2, හා 6th generation iPod touch උපාංග වෙත නොමිළයේ ලබාගත හැක. ඒ සදහා කරුණාකර ඔබගේ උපාංගයේ Settings > General > Software Update වෙත පිවිසෙන්න. නැතහොත් iTunes හරහා බාගත කරන්න.

තවත් මෙවැනි පුවත් රැසක් රැගෙන ඔබ හමුවට එන්නම්.