Spotify කියන්නේ මේ වන විට ලොව ජනප්‍රියතම Music streaming සේවාව ලෙස සැළකිය හැකි අතර මේ වන විට ලොව පුරා රටවල් 79ක් පුරාවට මිලියන 217ක පමණ පරිශීලකයන් පිරිසක් ඔවුන් සමඟින් එකතු වී සිටිනවා.

ඊයේ දිනයේ ඔවුන්ගේ Spotify සේවාවේ Lite app එක නිළ වශයෙන් රටවල් 36කට නිකුත් කිරීමට කටයුතු කළ අතර මේ හරහා 2G Network එකක් හරහා වුවත් අඩු data ප්‍රමාණයක් පරිශීලනය කරමින් streaming සේවාව ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අලුත් app එක 10MB පමණ වන අතර Android 4.3 වල සිට ඕනෑම Android සංස්කරණයක් සහිත performance අඩු ජංගම දුරකථන වල පවා ඉතාමත් හොඳින් භාවිතා කළ හැකි ලෙස සකස් කර තිබෙනවා.

මීට අමතරව Music stream කිරීමේදී අපට ඇති ප්‍රධානතම ගැටළුව වන data plan එක ඉක්මවා යෑමේ ගැටළුව මගහරවාගැනීමට app එක තුළ එයට භාවිතා කළ යුතු data ප්‍රමාණය සීමා කළ හැකි පහසුකමක ද මෙයට අන්තර්ගත වෙනවා.

එමෙන්ම ඔබේ ජංගම දුරකථනයේ storage එක අඩු නම්, මේ Spotify Lite app එක හරහා එම app එකේ cache clear කිරීම සඳහා පහසුකමක් ද අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ Spotify Lite app එක ප්‍රමාණයෙන් කුඩා වුවත් සාමාන්‍යය Spotify app එකේ තිබෙන පහසුකම් වලින් 90%ක පමණ ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වන බවත්, Spotify Premium subscription එකක් මිලදීගත් පිරිසට මෙන්ම මිලදී නොගත්, නොමිලයේ ගීත අසන පිරිසට ද මේ මගින් ගීත ඇසීමේ හැකියාව ලබා දී ඇති බව මොවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ Lite app එක iOS වලට හඳුන්වාදීමේ සූදානමක් නැති බව Spotify ආයතනය විසින් ප්‍රකාශ කර තිබෙන අතර මේ app එක විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවල් ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇති බව බොහෝ දෙනා අදහස් දක්වනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Spotify Newsroom එක, TechCrunch වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.