සාමාන්‍යයෙන් Apple ජංගම දුරකථන release කිරීම සඳහා නිශ්චිත කාල රාමුවක් තිබෙන අතර සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී Apple ජංගම දුරකථනයේ නව මාදිලිය නිකුත් කිරීම සිදුවෙනවා.

නමුත් මෙම වසරේ දී එය වෙනස් විය හැකි බව විවිධ මූලාශ්‍ර ඔස්සේ ආරංචි පැතිරී ගියද එය මෙතෙක් නිළ වශයෙන් තහවුරු වී තිබුණේ නැහැ.

කොහොම නමුත් මේ වන විට Apple සමාගමේ Chief Financial Officer වරයා වන Luca Maestri මහතා සිය ආයෝජකයන් වෙත පණිවිඩයක් යවමින් පවසා තිබෙන්නේ පසුගිය වසරේදී නිකුත් වූ iPhone මාදිලිය, එනම් iPhone 11 line up එක, සැප්තැම්බර් මාසයේදී ලබාදීමට හැකියාව ලැබුණද මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 line up එක බොහෝ දුරට ඔක්තෝබර් දක්වා කල් යනු ඇති බවයි.

මෙම ප්‍රමාදයට හේතුව කුමක්ද යන්න පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි හේතුවක් දක්වා නොමැති නමුත් බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ COVID-19 වසංගත ව්‍යාප්තිය නිසා සැපයුම් දාමයේ සිදුවන ප්‍රමාදයන්, මෙලෙස iPhone 12 line-up එක ප්‍රමාද වීමටද හේතු විය හැකි බවය.

Apple ජංගම දුරකථන නිෂ්පාදන කටයුතු ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ චීනය පදනම් කරගෙන වන අතර අලුතින් නිකුත් වන Apple ජංගම දුරකථන වල මූලාකෘති නිපදවීම සිදු කරන්නේ ද චීනය විසින්මයි.

නමුත් චීනය තුළ වෛරසය ව්‍යාප්තිය ඉහළයාම හා රට Lockdown කිරීමේ පසුබිම තුළ මෙම prototypes පරික්ෂා කිරීම සඳහා Apple හි ප්‍රධාන ඉංජිනේරුවන්ට චීනය බලා ගමන් කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.

නව iPhone මාදිලියක් නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රධානම පියවරක් වන්නේ මෙම මූලාකෘති පරික්ෂා කොට තහවුරු කිරීම වන අතර මෙම වසංගත තත්වය නිසා එම පියවර බොහෝ ප්‍රමාද වී තිබෙන බව වාර්ථා වෙනවා.

එමෙන්ම Apple උපාංග සඳහා chip නිපදවන Qualcomm සමාගමද ප්‍රමාදයක් පිළිබඳව ඉඟි ලබා දී ඇති බැවින් පොදුවේ ගෝලීය වශයෙන් 5G උපාංග නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදු විය හැකි බවද මේ වන විට වාර්තා වනවා.

නව iPhone මාදිලිය ද 5G සම්බන්ධතාවය සහිත වන බව මේ වන විට වන විට වාර්තා වන නිසා මෙම chip ලැබීමේ ප්‍රමාදයද iPhone 12 line up එක සති කිහිපයක් ප්‍රමාද වීමට හේතු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.