මේ දිනවල තොරතුරු හා දත්ත වල ආරක්ෂාව ගැන ලෝකය පුරාම කතා වෙනවා.

මෙයට ප්‍රධාන හේතුව තමයි පසුගිය සතියේ Apple හා Amazon සමාගම් ඇතුළු තවත් සමාගම් ගණනාවක වල Servers වලට කුඩා microchip එකතු කිරීම මගින් චීන ඔත්තුකරුවන් දත්ත හොරකම් කළ බවට පැතිර යන ප්‍රවෘත්තියයි.

මේ ගැන කලින් ලිපියකින් අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කලා මතක ඇති.

එහෙත් මෙම ප්‍රහාරයට ලක්වුනා යැයි ආරංචි වෙන සාමගම් අතරන් Apple හා Amazon සමාගම් නිවේදනයක් නිකුත් කරලා කියලා තිබුණේ ඔවුන්ගේ දත්ත කිසිම දෙයකට ඒ විදිහට හානි වෙලා නැහැ කියලයි.

පෙර වාර්තාවට අනුව චීනයේ පිහිටා ඇති ඔවුන්ගේ servers වලට "හාල් ඇටයක් තරම් කුඩා" වෙන microchip එකක් හොරෙන් ඇතුලත් කර ඔවුන්ගේ දත්ත ඒ හරහා සොරකම් කරලා තියෙනවා. කොහොම නමුත් එම වාර්තාව සම්පූර්ණයෙන්ම බොරුවක් විදිහට හදුන්වලා කරුණෙන් කරුණ අසත්‍යය බව පෙන්වා දීමට ඔවුන් කටයුතු කරලා තිබෙනවා.

මේ සිද්ධිය ගැනත් ලෝකේ පුරාම මිනිස්සු කතා වෙනවා. මොකද මේ වෙනකම් සිදු වුණු කිසිම ප්‍රශ්නයකට මේ සමාගම් දෙකෙන්ම මේ තරම් විස්තර කරලා පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරලා නැහැ.

ඇමෙරිකානු කොංග්‍රස් සභාව විසිනුත් මෙම ප්‍රශ්නය ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නොමැති අතර ඔවුන් මීට පෙර පැවති ගැටලු වලදී ඉක්මනින් ක්‍රියා කරමින් ZTE හා Huawei නිශ්පාදන ඇමෙරිකාව තුල භාවිතය තහනම් කිරීමට පවා සැළැස්මක් දියත් කරා.

මෙම ප්‍රශ්නය ගැන ඔවුන් වැඩි අවධානයක් යොමු නොකිරීම මගින් මෙය ඉතාම කුඩා දෙයක් බවට ලෝකයට දනවන්නට ඔවුන් උත්සහා කරනවා විය හැකි බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර theverge වෙබ් අඩවිය හා foxnews වෙබ් අඩවිය මගින් දැනගත හැකි වෙනවා.