මීට වසර ගණනාවකට කලින් නිකුත් වුණු Android සංස්කරණයක් සහිත Android ජංගම දුරකථනයක් භාවිතා කරලා තියනවා නම් ඔයා හොඳින්ම දන්නවා ඇති මුළු Android මෙහෙයුම් පද්ධතියම ඒ වන විට අඳුරු පැහැති ආකාරයට තමයි නිර්මාණය කරලා තිබුණේ.

නමුත් Android 5.0 එහෙමත් නැතිනම් Android Lollipop වලදී හඳුන්වා දුන් Material Design එකත් සමඟින් කලින් තිබුණු Holo theme එක ඉවත් කිරීමට කටයුතු කළ අතර මේ අනුව මුළු මෙහෙයුම් පද්ධතිය පුරාම පැතිරුණු සුදු පැහැයට හුරු theme එකකට අපි හැමෝම පුරුදු වුණා.

ඒ වගේම ඉන් පසුව ගතවූ වසර කිහිපය ඇතුලත සියළුම app නිර්මාණකරුවන් තමන්ගේ app මේ material design එකට අනුව නිර්මාණය කරන්නට කටයුතු කළත් මෑතකදී නැවතත් dark mode එක ජනප්‍රිය වන්නට පටන් ගත්තේ බොහෝමයක් ජංගම දුරකථන වල භාවිතා වන AMOLED Display වලදී ඒ හරහා සැළකිය යුතු battery power එකක් ඉතිරිකරගැනීමට හැකියාව ලැබීම නිසා බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.


ඔන්න දැන් මීළඟට නිකුත් වීමට තිබෙන ප්‍රධාන Android සංස්කරණය වන Android Q වලදී මුලු මෙහෙයුම් පද්ධතිය පුරාම පැතිරුණු Dark mode එකක් ගෙන එන්නට Google සමාගම සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව Android Q වල ඇතුලත් වන සියළුම system apps සඳහා dark mode එක enable කළ හැකි setting එකක් ඇතුලත් කළ යුතු බව Android Q developer team එකට දන්වා ඇති අතර දැනටමත් Google සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන apps වන Google Phone, Contacts, Messages, Google News, Google Play Games සහ YouTube යන apps සඳහා dark mode එක හඳුන්වා දී තිබෙනවා.

මේ අලුත් පහසුකම නිළ වශයෙන් තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත මෙම වසරේ Google I/O event එක අතරතුරදී පෙන්වීමට බොහෝ විට Google සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැක.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.