Android වල ආරම්භයේ පටන්ම සාම්ප්‍රදායක් ලෙස ඉංග්‍රීසි හෝඩියේ අකුරු තිබෙන පිළිවෙලට සෑම Android සංස්කරණයක් හැඳින්වීම සඳහාම අතුරුපසක නමක් යොදාගැනීමට කටයුතු කළ බව අපි හැමෝම දන්න කාරණයක්.

කොහොම වුණත් Android Q වල සිට එම ආකාරයෙන් නම් යොදාගැනීම වෙනුවට Android 10 ලෙස මෙම සංස්කරණය නම් කිරීමටත්, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Android සංස්කරණය අලුත්ම සංස්කරණය කුමක්දැයි පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයට නම් කිරීමටත් Google සමාගම තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මේ වන විට ලොව පුරා බිලියන 2.5ක පමණ active devices, Android මගින් පණගැන්වෙන බව වන අතර මෙය global operating system එකක් වන බැවින්, සියළුදෙනා හට පහසුවෙන් තේරුම් ගත හැකි නම් යොදාගැනීමට ඔවුන් තීරණය කළ බවයි.

බොහෝ විට Android සඳහා භාවිතා කර තිබෙන විවිධ අතුරුපස ලොව පුරාම එක ලෙස ජනප්‍රිය නොවන බැවින් සහ, අදාල නම් හරහා අලුත්ම Android සංස්කරණය කුමක්ද යන්න සෘජුවම සොයාගත නොහැකි වීම නිසාවෙන් Android පරිශීලකයන් අපහසුතාවයට පත්වන බවත්, එම අපහසුතාවය මේ අලුත් නම් හරහා ඉවත් වී යන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව 2014 වර්ෂයෙන් පසුව Android Logo එක නැවත වරක් වෙනස් කිරීමට මෙම වසරේ කටයුතු කර ඇති අතර කොළ වර්ණය, Android Robot ගේ හැඩය මෙන්ම අකුරු වල වර්ණය ද මෙසේ වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉදිරි සති කිහිපය ඇතුලත නිකුත් කිරීමට නියමිත Android Q වල stable release එක සමඟින් මේ අලුත් logo එක සහ color scheme එක නිළ වශයෙන් භාවිතා කිරීමට Google සමාගම කටයුතු කරනු ලබන බවත් Android Q නිළ වශයෙන් Android 10 ලෙස හැඳින්වෙන බවත් Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.