Update: 04/01/2020 13:42PM
මෙම ගැටළුව නිරාකරණය කරමින් අලුත් update එකක් දැනටමත් beta පරිශීලකයින් වෙත නිකුත් කර ඇති බවත්, සාමාන්‍යය පරිශීලකයින් හට එය ඉක්මණින්ම ලබාදීමට කටයුතු කරනු ඇති බවත් Xiaomi Sri Lanka ආයතනය TechNews.LK වෙත වාර්තා කරනු ලැබුවා.

එමෙන්ම මෙම ගැටළුව නිසා ඔබගේ Mi A3 ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වූයේ නම්, 071 5 173 173 යන දුරකථන අංකය හරහා නිළ Xiaomi Service Center එක සම්බන්ධ කරගන්නා ලෙසත්, කොන්දේසි කිහිපයක් යටතේ Warranty period එක තුළ නොසිටින පාරිභෝගිකයන් සඳහා ද සේවාව සපයනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

Xiaomi සමාගම විසින් දින කිහිපයකට පෙර ඔවුන්ගේ Mi A3 ජංගම දුරකථන සඳහා Android 11 update එක නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට එම update එක install කළ බොහෝ දෙනා හට විශාල ගැටළුවකට මුහුණදීමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම update එක සිදු කිරීමෙන් අනතුරුව Android One logo එක, එනම් boot screen එකෙහි මිනිත්තු 15 - 20ත් අතර කාළයක් පවතින බවත්, ඉන් පසුව black screen එකකට ගොස් off වී යන බවත් බොහෝ පරිශීලකයින් වාර්තා කර තිබෙනවා.

මෙලෙස off වී යාමෙන් අනතුරුව එය නැවතත් bootloader එක (Fastboot mode එක) දක්වා හෝ on කරගැනීමට නොහැකි බවත්, කිසිඳු ආකාරයකින් ‍පරිගණකයකට හෝ වෙනත් device එකකට detect කර නොගන්නා බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙය update එක සිදු කළ සෑම පුද්ගලයෙකු හටම මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණදීමට සිදුව ‍නැති වුවත්, bootloader එක දක්වා හෝ ජංගම දුරකථනය ගෙන ඒමට නොහැකි වන බැවින් මෙය ඉතාමත් අවධානම්කාරී කටයුත්තක් වෙනවා.

මේ පිළිබඳව Xiaomi සමාගම විසින් තවමත් නිළ වශයෙන් පිළිතුරක් හෝ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර නොමැති අතර, ඔබත් Mi A3 ජංගම දුරකථන හිමියෙකු නම් Android 11 update එක සිදු කිරීමට ඉක්මන් නොවී තව ටික දිනක් ඉවසීමෙන් සිටීම නුවණට හුරු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.