YouTube ආයතනය විසින් YouTube Signature Devices, එහෙමත් නැතිනම් YouTube එකෙන් video නැරඹීම සඳහා හොඳම smarphone ලැයිස්තුගත කරන්නට කටයුතු කර තිබෙනවා.

මේ වෙනුවෙන් අළුත් website එකක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර මෙහි දැක්වෙන devices ඉතාමත් රළු පරීක්ෂණයකින් අනතුරුව මෙලෙස ලැයිස්තුගත කරනු ලබන බව Google සමාගම වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මීට අමතරව video play කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට බොහෝමයක් දුරකථන නිෂ්පාදකයින් සමඟ එකතු වී කටයුතු කරනු ලබන අතර මේ වන විට Samsung, OnePlus, LG, Sony, HTC, Huawei, Xiaomi, Google, සහ Nokia ඇතුළු ජංගම දුරකථන නිෂ්පාදකයින් 18ක් පමණ මෙම ලැයිස්තුගත කිරීමට ඇතුලත් වෙන නමුත් තවමත් ලොව ජනප්‍රියම ජංගම දුරකථන නිෂ්පාදකයා වන Apple සමාගමේ කිසිඳු device එකක් මෙම ලැයිස්තුවේ දකින්නට ලැබෙන්නේ නැහැ.

මෙම ලැයිස්තුගත කිරීමට ඇතුලත් වීමට නම් HDR, 360° video, 4K decoding, high frame rate, VP9 codec, සහ DRM performance යන තාක්ෂණයන් 6කින් අදාල device එක සමන්විත යුතු වෙනවා.

  • HDR: HDR එහෙමත් නැතිනම් High Dynamic Range videos පෙන්වීමේ හැකියාව තිබීම මේ signature devices වලට අනිවාර්යය වෙනවා. මේ පහසුකම මගින් video එකක ඇති detail වඩාත් හොඳින් දැකගැනීමට මෙන්ම වඩාත් හොඳ තත්ත්වයේ contrast level එකක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

  • 360° video: VR Headset එකක් භාවිතයෙන් හෝ අදාල device එකෙහි display එක හරහා අංශක 360° ක් ආවරණය වන video දර්ශන නැරඹීමේ පහසුකම ඇත්දැයි සළකා බලනු ලබනවා.

  • 4K decoding: 4K display එකක් නොතිබුණත් 4K video එකක් decode කරගැනීමේ හැකියාව තිබෙනවා නම්, VR වලදී මෙන්ම අදාල display එකෙන් පෙන්වීමට හැකි උපරිම තත්ත්වයෙන් video එක පෙන්වීමට හැකියාව මැන බලනු ලබනවා.

  • High frame rate: තත්ත්පරයක් තුලදී රූපරාමු 60ක් පෙන්වීමට හැකියාව තිබීමත් මෙහිදී සළකා බැලෙනවා. මෙමගින් අපිට video එක නරඹන විට ඉතාමත් smooth ගතියක් නිතැතින්ම දැනෙනවා.

  • Next generation video codecs: VP9 කියන අළුත් video codec එකට hardware level එකෙන් සහාය දැක්වීමත් සළකා බලනු ලබන අතර, මේ හරහා resolution එක වැඩි video එකක් 30% ක් පමණ අඩු bandwidth එකක් භාවිතා කරමින් නැරඹිය හැකි වෙනවා.

  • Digital rights management performance: YouTube TV හරහා ගෙවීම් කර ලබාගන්නා සේවාවන් වල ඩිජිටල් අයිතිවාසිකම් කළමනාකරණය එහෙමත් නැතිනම් Digital rights management කිරීමේ හැකියාව video එක දර්ශනය කිරීමට බාධාවක් නොවන පරිදි සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳවත් මෙහිදී සළකා බැලෙනවා.

ඉතින් YouTube video හොඳින්ම නැරඹිය හැකි ජංගම දුරකථන ලැයිස්තුව devicereport.youtube.com කියන වෙබ් අඩවියට හරහා දැන් බලාගන්නට අවස්ථාව තිබෙනවා.