ඉන්දියාව සහ චීනය අතර පසුගිය කාලය තුළ දී මතභේදාත්මක සිදුවීම් කිහිපයක්ම සිදුවූ අතර එම උණුසුම් තත්වය අතරදීම ඉන්දියානු රජය විසින් TikTok ඇතුළු චීන apps 59 ක් තහනම් කිරීමට පියවර ගත් අතර ඒ පිළිබඳව මින් පෙර ලිපියක් මඟින් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

එම තහනමෙන් පසුවද ඉන්දියානු රජය විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සැලකෙන තවත් චීන apps 47ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට පියවර ගනු ලැබූ අතර මෙලෙස ඉන්දියානු රජය විසින් තහනම් කළ apps අතර Xiaomi සමාගමට අයත් Mi Browser Pro, Mi Community සහ Mi Video Call යන apps ද ඇතුළත් වෙනවා.
Xiaomi India නිළ Twitter ගිණුම ඔස්සේ සිදු කළ නිවේදනයක දැක්වෙන්නේ ඉන්දියාව තුළ අලෙවි වන සහ දැනට භාවිතා වන සියලුම Xiaomi උපාංග සඳහා ඉන්දියාව විසින් තහනම් කරනු ලැබූ apps කිසිවක් pre-installed ලෙස නොපැමිණෙන MIUI හි නව සංස්කරණයක් මේ වන විටත් නිර්මාණය වෙමින් පවතින බවත්, ඉදිරි සති කිහිපය තුළ දැනට පවතින සහ අනාගතයේදී නිකුත් කිරීමට නියමිත උපාංග සඳහා එම සංස්කරණය පියවරෙන් පියවර එය හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවයි.
📢 IMPORTANT news about #Xiaomi phones in #India:
— Mi India (@XiaomiIndia) August 7, 2020
1) None of the blocked apps will be available
2) MIUI Cleaner app is not using Clean Master app banned by Indian Govt.
3) 100% of Indian user data stays in India
A new version of MIUI coming soon.
Please read & spread the news. pic.twitter.com/I1WPAkXVWi
Xiaomi සමාගම සිය MIUI software එක පිළිබඳ විස්තර කිහිපයක් ද මෙහි පැහැදිලි කර ඇති අතර, Xiaomi සමාගමහි Cleaner app එක ඉන්දියානු රජය විසින් තහනම් කරන ලද තවත් app එකක් වන Cheetah Mobile ආයතනයේ Clean Master සමඟ සම්බන්ධ නොවන බව එහි සඳහන් වෙනවා.
මීට අමතරව ඔවුන්ගේ සියලුම ඉන්දියානු ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු local servers තුළ ගබඩා කර ඇති අතර ඉන්දියාවෙන් පිටත කිසිවෙකු සමඟ එම දත්ත share කර නොගන්නා බව ද සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Xiaomi India නිළ Twitter ගිණුම භාවිතා කළ හැක.