EMROD යනු සාම්ප්‍රදායික තඹ කම්බි ඔස්සේ බල ශක්තිය සම්ප්‍රේෂණය කිරීම වෙනුවට රැහැන් රහිතව බලශක්තිය සම්ප්‍රේෂණය කළ හැකි නව තාක්ෂණයක් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වෙනවා.

විද්‍යුත් චුම්බක තරංග ඔස්සේ විශාල දුරක් රැහැන් රහිතව බලශක්තිය සම්ප්‍රේෂණය කිරීමට මොවුන්ගේ මෙම තාක්ෂණය ඔස්සේ හැකියාව තිබෙන අතර ඒ අනුව සාම්ප්‍රදායික තඹ කම්බි සම්පූර්ණයෙන්ම ඉවත් කර ඉතා අපහසු දුෂ්කර ප්‍රදේශවලට පවා අඩු වියදමකින් බලශක්තිය සැපයීමට හැකියාව ලැබෙනවා.

EMROD සමාගමේ නිර්මාතෘ Greg Kushnir මහතා පවසන්නේ දැනට තිබෙන පුනර්ජනණීය බලශක්තිය බෙදාහැරීම, බෙදාහැරීම් ජාලය නඩත්තු කිරීම වියදම් අධික සහ කරදරකාරී කටයුත්තක් වන බවත්, මෙම නව රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ එම ගැටලු වලට සම්පූර්ණයෙන්ම පාහේ විසඳුම් ලැබෙන බවත් ය.

මෙම තාක්ෂණය ඔස්සේ බලශක්ති උත්පාදනය 50%කින් ඉහළයාමත්, බලශක්තිය ඇනහිටීම 85% ක් දක්වා අඩු කරගැනීමට හැකිවීම හා බලශක්ති බෙදාහැරීමේ පිරිවැය 65% ක් දක්වා අඩු කරගැනීමට ද හැකියාව ලැබෙන බව Kushnir වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම තාක්ෂණය දැනටමත් නවසීලන්තයේ දෙවන විශාලතම බලශක්ති බෙදාහරින්නා වන Powerco සමාගම විසින් නවසීලන්තය තුළ මෙහෙයුම් කටයුතු සිදුකරමින් තිබෙන අතර එය නුදුරු දිනකදීම අප්‍රිකානු මහද්වීපය තුළද ආවරණය කටයුතු සිදු කිරීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.

නවසීලන්තයේ තුළ දැනට නිර්මාණය කරමින් පවතින පද්ධතිය හරහා දැනට බෙදා හැරීමට හැකියාව තිබෙන්නේ අඩු කිලෝවොට් ධාරිතාවක් වුවත් මෙම තාක්ෂණය ඔස්සේ මෙම ප්‍රමාණයට වඩා, සිය ගුණයක් තරම් විශාල ශක්තියක් බෙදාහැරීමට පවා හැකියාව තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

කඳු සහිත රටක් වන ලංකාව වැනි රටවල් වලට ද මෙය ඉතාමත් ගැලපෙන ක්‍රමයක් වනු ඇති අතර මේ හරහා ඉතාමත් දුෂ්කර ප්‍රදේශ වලට පවා කිසිඳු බාධාවකින් තොරව විදුලි බලය ලබාදීමට හැකියාව ලැබෙනවා.

රැහැන් රහිතව බලය සම්ප්‍රේෂණය කිරීමේ තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ බොහෝ ඈත අතීතයට දිවයන අතර André-Marie Ampère, Nikola Tesla වැනි විවිධ විද්‍යාඥයන් විසින් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කොට තිබෙනවා.

කොහොම නමුත් මෙයින් යම් පමණකට හෝ සාර්ථක වී තිබෙන්නේ කීර්තිමත් විද්‍යාඥයකු වන නිකොලා ටෙස්ලා පමණක් වන අතර ඔහු විසින් 1899 දී මෙම තාක්ෂණය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අත් කර ගත්තද මූල්‍යමය ගැටලු නිසා එය අතරමග නවතා දැමුණු බව සඳහන් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා World Energy වෙබ් අඩවිය සහ African Review වෙබ් අඩවිය භාවිතා කළ හැක.