Wikipedia කියන්නේ අපි හැමෝටම මේ වෙනකොට නැතුවම බැරි දෙයක් වෙලා. අපිට විතරක් නෙවෙයි, Google Assistant, Apple Siri වගේ සේවාවන් වලට පවා Wikipedia කියන්නේ ඉතාමත් වැදගත් අංගයක් බවට පත් වෙලා ඉවරයි.

මේ Wikipedia වෙබ් අඩවිය පවත්වාගෙන යන Wikimedia ආයතනයේ මූලික අරමුණ ලොව පුරා ජීවත් වෙන හැම කෙනෙකුටම නිදහසේ දැනුම භාවිතා කිරීමේ අවස්ථාවක් නිර්මාණය කරන එක වුණත්, ලෝකය පුරා භාශාවන් විශාල ප්‍රමාණයක් භාවිතා වෙන බව අපි දන්නවා.

මේ වෙනකොටත් භාශාවන් විශාල ගණනකින් Wikipedia වෙබ් අඩවිය භාවිතා කළ හැකි වුණත් ඇතැම් භාශා වලින් තිබෙන ලිපි ප්‍රමාණය ඉතාමත් අවම වන අතර ඉංග්‍රීසි භාශාවට ප්‍රධාන තැනක් ලැබිලා තිබෙන බව දකින්න පුළුවන්.

ඉතින් මේ ඉංග්‍රීසි භාශාවෙන් තිබෙන ලිපි වෙනත් භාශා වලට පරිවර්ථනය කරන්නට මේ වනතුරු (ලිපි 400,000ක් පමණ පරිවර්ථනය කරන තුරු) Wikipedia වල අන්තර්ගත වෙලා තිබුණේ Open source project එකක් වන Apertium කියන translator එකයි.

කොහොම වුණත් මේ translator එකට Wikipedia editor වරුන් නම් එතරම් කැමැත්තක් දැක්වූ බවත් පෙනෙන්නට නොතිබූ අතර ඔවුන් නිතරම Google Translate වැනි හොඳ තත්ත්වයේ සේවාවක් වෙනුවෙන් වසර ගණනාවක සිට ඉල්ලුම් කරනු ලැබුවා.

ඔන්න දැන් මේ Google Translate සේවාව Wikipedia Editor එකට සෘජුවම අන්තර්ගත කරන්නට Wikimedia ආයතනය කටයුතු කර තිබෙන අතර දැනට ලොව පවතින හොඳම translation සේවාව Wikipedia editor වරුන් හට භාවිතා කිරීමට මේ අනුව අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම Apertium වලට වඩා Zulu, Hausa, Kurdish වැනි තවත් භාශාවන් 15ක් පමණ Google Translator සේවාව හරහා භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන අතර මේ භාශාවන් ලොව එතරම් ජනප්‍රිය නොවුනත්, උදාහරණයකට ගතහොත් Zulu භාශාව භාවිතා කරන මිලියන 12ක පමණ පිරිසක් සිටියත්, එම භාශාවෙන් ඇත්තේ ලිපි 1,000කට පමණ අඩු ප්‍රමාණයක් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


කොහොම නමුත් Google සමාගම විසින් අපි හැමෝගෙම දත්ත එකතු කරන බව මේ වන විට ගොඩ දෙනෙක් දන්නවා. ඉතින් මේ කාරණය ගැන සැළකිලිමත් වෙන අයට Wikimedia ආයතනය විසින් විශේෂයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙන්නේ, Google සමාගමත් සමඟ කිසිඳු දත්ත හුවමාරු කිරීමක් මේ සඳහා සිදු නොකරන බවයි.

එමෙන්ම මේ හරහා පරිවර්ථනය කරනු ලබන ලිපි අනෙකුත් ලිපි වගේම Creative Common license එක යටතේ publish කරනු ලබන අතර Google logo එකක් හෝ කිසිඳු අයුරකින් Google යන නමක් ඒවායේ පෙන්නුම් නොකරන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙම එකඟතාවය අවුරුද්දක කාලයක් සඳහා පමණක් සිදු කර ඇති බවත්, ඕනෑම අවස්ථාවකදී Wikimedia ආයතනයට මෙය නැවැත්වීමට හැකියාව තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉතින් දැනුම හැමෝටම බෙදලා දෙන්න ඔයත් කැමති නම් අපේ සිංහල භාශාවෙන් Wikipedia එකට ලිපි එකතු කරන්න ඔයාටත් හැකියාව තියෙනවා. ඒ ගැනත් ටිකක් හිතලා බළන්න කාලය හරි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Wikimedia Foundation වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.