Cloud Gaming Service එකක් වන Google සමාගමේ Project Stream ගැන පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Amazon සමාගමත් ඔවුන්ගේම Cloud gaming service එකක් 2020 වර්ෂය පමණ වන විට එළිදැක්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

අපි දැනට game එකක් ගහන්න ඕන වුණු වෙලාවට අපිට ඒ game එක download කරන්න, එහෙමත් නැතිනම් ඒකට අදාල storage media එකක් හරහා අදාල game එක install කරගන්න වෙනවා. නමුත් මේ Cloud Gaming service එකක තිබෙන වාසිය වෙන්නේ මේ වගේ කිසි දෙයක් නොකර අපිට අදාල game එක play කරන්න අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව processing power එක අවශ්‍යය වෙන සියළුම දේවල් සිදු වෙන්නේ cloud servers වල නිසා අපිට powerful computer එකක් ඕන වෙන්නෙත් නැහැ.


මේ වෙනකොට Cloud gaming වෙනුවෙන් Microsoft සමාගම ඔවුන්ගේ xCloud cloud gaming service එකත්, Google සමාගම විසින් Project Stream එකත් ආරම්භ කර තිබෙන අතර Amazon සමාගමේ නාමය ද මේ අතරට එකතු කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මීට අමතරව Sony, Nvidia වැනි සමාගම් විසින් ද මේ කටයුත්ත සිදු කරනු ලබනවා.

අනෙකුත් සියළුම සමාගම වලට මේ Cloud gaming අලුත් දෙයක් වුණත් Amazon සමාගම 2014 වර්ෂයේදී මීට තරමක් සමාන ආකාරයේ Hybrid cloud game එකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ game එක තුළ ප්‍රධාන ආයුධයේ ක්‍රියාකාරීත්වය මෙය run වූ Amazon Fire Tablet එක තුළම සිදු වූ අතර ඊට අමතර වශයෙන් පෙන්වන සෙනඟ ඇතුළු අනෙකුත් දේවල් වෙනත් server එකක් render කර realtime ආකාරයෙන් පෙන්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම Amazon සමාගමට මේ වන විට ඔවුන්ගේම Game Studio එකක් සහ ඒ හා බැඳුනු cloud services සපයන ආයතනයක් ද තිබෙන අතර මේ හරහා game develop කරනු ලබන වෙනත් game studio වලට සේවා සපයනු ලබනවා.

මේ අනුව නුදුරු අනාගතයේදීම high-end PC එකක් හෝ මිළ අධික console එකක් නොමැතිව අපේ සාමාන්‍යය පරිගණකය භාවිතා කරමින් අලුත්ම video games play කිරීමේ හැකියාව මේ cloud gaming service එකක් හරහා ලබාගන්න හැකියාව ලැබේවි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, CNET වෙබ් අඩවිය හා The Next Web වෙබ් අඩවිය භාවිතා කළ හැක.