Huawei ඇතුළු චීන සමාගම් 59 ක් සඳහා ආයෝජනය කිරීම තහනම් කරන නව විධායක නියෝගයක් බලාත්මක කිරීමට එක්සත් ජනපද රජය තීරණය කිරීමත් සමඟ ඇමරිකානු-චීන දේශපාලන ගැටුම යළි කරලියට පැමිණ තිබෙනවා.

ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයාව සිටි Huawei සඳහා පමණක් නොව මෙවර ජනප්‍රිය Chip නිෂ්පාදකයකු වන SIMC, Telecom operator සමාගමක් වෙන China Mobile හා අතිශය ජනප්‍රිය video surveillance සමාගමක් වෙන Hikvision ද මෙවර ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන අතර, අනෙකුත් සමාගම් සියල්ල චීන ආරක්ෂක අංශ හා සම්බන්ධ සමාගම් වෙනවා.

එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සනාථ කළේ ඉදිරි මාස කිහිපය තුළ තවත් චීන සමාගම් රැසක් මෙම ලැයිස්තුවට ඇතුළත් වනු ඇති බවයි.

හිටපු ජනාධිපති Donald Trumph ගේ පාලන කාලය තුළ පැන නැගුනු චීනයේ බුද්ධි හා ආරක්ෂක පර්යේෂණ සමාගම්වලට එරෙහි දැඩි ස්ථාවරය, නව ජනපති Joe Bieden විසින්ද ඉදිරියට ගෙන යමින් සිටින බව මේ අනුව පැහැදිලි වෙන කරුණක් වෙනවා.

කොහොම වුණත් එක්සත් ජනපද ආයෝජන සමාගම් සහ පුද්ගලයින්ට අලුතින් තහනම් කරන ලද සමාගම්වල ඕනෑම අරමුදලක් ආපසු හැරවීමට අවසර ඇති නමුත් එම ගනුදෙනු වසරක් තුළ සම්පූර්ණ කළ යුතු වෙනවා.

එමෙන්ම Tik-tok, WeChat වැනි චීන සමාජ මාධ්‍ය ජාලා මෙන්ම අනෙක් ජනප්‍රිය චීන ජංගම දුරකථන නිෂ්පාදකයින්ද ඉදිරියේදී මෙම ලැයිස්තුවට ඇතුළත් වනවා ද නැද්ද යන්න පිළිබඳව බොහෝ තාක්ෂණික විශ්ලේෂකයින් විමසිල්ලෙන් පසු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ ධවල මන්දිරයේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.