ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවට තරමක් ආගන්තුක වුවද 5G තාක්ෂණය යනු මේ වන විට ලොව අනෙක් රටවල් වල වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් තිබෙන තාක්ෂණයක් වෙනවා.

ලොව පුරා 5G ආවරණය දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතින පසුබිම තුළ එක් එක් රටවල 5G Network වල වේගය සම්බන්ධයෙන් Wireless coverage mapping සමාගමක් වන OpenSignal සමාගම විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින්, ලොව වේගවත්ම 5G ආවරණය සහිත රට බවට සෞදි අරාබියාව බව වාර්ථා වී තිබෙනවා.

සෞදි අරාබියෙහි 5G Download Speed එක 414.2 mbps තරම් ඉහළ අගයක් ගන්නා අතර එය 4G සමග සංසන්දනය කිරීමේදී 14 ගුණයක වැඩි වේගයක් වෙනවා.

සමාන්‍යයෙන් ලොව හොඳම සහ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත රට බවට පිළිගැනෙන දකුණු කොරියාව, මෙහි දෙවන ස්ථානයට පත්ව ඇති අතර, දකුණු කොරියාවේ 5G Download speed එක 312.7mbps බවත්, එය 4G Network එකට වඩා පස් ගුණයක වැඩි වේගයක් සහිත වන බවත් මෙම වාර්ථාව පෙන්වා දෙනවා.

2020 වර්ෂයේ මැයි 16 වැනි දින සිට අගෝස්තු 14 දක්වා කාලය තුළ, 5G ආවරණය වේගයෙන්ම සිදු වන රටවල් 8 ක් පදනම් කර ගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර මෙහිදී සොයාගත් විශේෂිතම දේ නම්, සමීක්ෂණයට ලක් කළ රටවල් අතරින් ඇමරිකා එක්සත් ජනපදය, අඩුම 5G download speed එක සහිත රට බවට පත්වී තිබීමයි.

එක්සත් ජනපදයේ 5G download speed එක 50mbps තරම් අවම අගයක් ගන්නා බව මෙහිදී හෙළි වී තිබෙන අතර, එක්සත් ජනපදය විසින් 5G Speed එකට වඩා එහි Availability එකට, එනම් එහි ව්‍යාප්තිය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මීට හේතුව විය හැකි බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම සාපේක්ෂව කුඩා රටවල් හා භූගෝලීය වාසි සහිත හොංකොං, කුවේට් වැනි රටවල 5G ආවරණය එක්සත් ජනපදය වැනි විශාල රටක ආවරණ කටයුතුවලට වඩා, පහසු බව මෙම වාර්තාව විසින් පෙන්වා දෙන අතර විශේෂයෙන්ම හොංකොං සහ කුවේට් යන රටවල තත්වය ස්විට්සර්ලන්තය හා බ්‍රිතාන්‍යට වඩා ඉදිරියෙන් තිබෙන බවද මොවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OpenSignal වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය සහ Venturebeat වෙබ් අඩවිය භාවිතා කළ හැක.