HTTPS certificates ගැන කතා කරන විට නිතරම ඇහෙන නමක් තමයි Let’s Encrypt කියන්නේ.

2014 වර්ෂයේ Electronic Frontier Foundation එකේ මූලිකත්වයෙන් මෙන්ම Akamai, Google, Facebook, Mozilla සහ තවත් ආයතන කිහිපයක දායකත්වයෙන් ආරම්භ කරනු ලැබූ මේ ලාභ නොලබන ආයතනය විසින් 2015 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 14 වැනිදා ඔවුන්ගේ පළමු certificate එක නිකුත් කරන්නට කටයුතු කලා.

එදා සිට අද දක්වා ලොව පුරා domain නාම මිලියන 129කට පමණ certificates මිලියන 380කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර මෙම දත්ත අනුව සළකා බලන විට ලොව විශාලතම certificate issuer බවට ඔවුන් නිතරඟයෙන්ම පත් වෙනවා.

Firefox ආයතනයේ දත්ත වලට අනුව මෙය ආරම්භ කරන කාලයේ Firefox හරහා භාවිතා කරනු ලැබූ වෙබ් අඩවි වලින් 38%ක් පමණක් HTTPS encrypted connection එකක් භාවිතා කර ඇති අතර මේ වන විට එම තත්ත්වය 75% දක්වා වැඩි වී තිබෙනවා.

ඔයා නිතරම tech news කියවන කෙනෙක් නම් මේ වෙනකොට HTTPS ගැන හොඳට දන්නවා ඇති. මේ ගැන කෙටියෙන් කියනවා නම්, මේ protocol එක හරහා ඔය‍ාගේ පරිඝනකය හා අදාල වෙබ් අඩවිය අතර හුවමාරු වන දත්ත TLS certificate එකක් භාවිතා කරමින් encrypt කරලා හුවමාරු කරන එක තමයි මේ HTTPS හරහා සිදු වෙන්නේ.

මේ encrypt කිරීම සඳහා අවශ්‍යය වන TLS certificate එක ලබා දීම තමයි Let's Encrypt ආයතනය මගින් සිදු කරන්නේ.

ඉතින් එහෙම කලාම ඔයාගේ username, password මෙන්ම credit card දත්ත ඇතුළුව මේ encrypted connection එක හරහා යන එන දත්ත වෙන කාටවත් බලන්න බෑ. බලන්න බෑ කිවුවට ඇත්තටම බලන්න පුළුවන්, නමුත් එකේ තියන දේවල් encrypt වෙලා තියන නිසා බලන කෙනාට ඒවා තේරුම් ගන්න බැහැ.

වසර ගණනාවක් පුරාවටම ඒ කියන්නේ මේ Let's Encrypt එන තුරුම වගේ https භාවිතා කිරීම සඳහා certificate එකක් ලබා ගැනීම ටිකක් විදයම් යන වැඩක් වුණා. දැනටත් Godaddy හෝ වෙනත් ආයතනයකින් මේ වගේ certificate එකක් ලබා ගන්නවා නම් ඒ වෙනුවෙන් මිළක් ගෙවීමට සිදු වෙනවා.

Let's Encrypt එකට sponsor කරනු ලබන ආයතන

කොහොම නමුත් අන්තර්ජාලය තුල ආරක්ෂාව සනිටුහන් කිරීම වෙනුවෙන් EFF එක සහ තවත් ආයතන අත්වැල් බැඳගෙන ‍මේ Let's Encrypt හරහා නොමිළයේ TLS certificate ලබා දෙන්නට කටයුතු කළ නිසාවෙන් අළුතින් පටන් ගන්න ආයතන වලට, blog ලියන අයට වගේම ලොව පුරා බොහෝ දෙනෙකුට තමන්ගේ වෙබ් අඩවිය https හරහා ලබා දෙන්නට හැකියාව ලැබුණා.

ඔයාලා හැමදාම tech news කියවන technews.lk එක host server එකේ ඉඳන් CDN එකට එනකන් තියන connection එක encrypt කරලා තියෙන්නෙත් මේ Let's Encrypt ආයතනය විසින් නිකුත් කරන ලද certificate එකක් භාවිතා කරලාම තමයි.

කොහොම නමුත් තවමත් අන්තර්ජාලය තුල ඇති සියළුම වෙබ් අඩවි encrypted නැති වුණත්, සම්පූර්ණයෙන්ම encrypt කළ වෙබ් එකක් නිර්මාණය කිරීමේ සිහිනය ගැන යම්තාක් දුරට හෝ බළාපොරොත්තුවක් තබාගැනීම සඳහා මේ Let's Encrypt ආයතනය සෑම දිනකම මිලියන ගණනක් අළුත් certificates ලබා දීම මගින් විශාල දායකත්වයක් ලබා දෙනවා.