අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි හා සේවාවන් භාවිතා කරන විට නිතරම අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි මේ CAPTACHA කියන්නේ.

බොහෝ වෙලාවට account එකක් create කරන අවස්ථාවකදී, එහෙමත් නැතිනම් comment එකක් දැමීමේදී සහ form එකක් fill කිරීම වැනි අවස්ථා වලදී බොහෝ විට මෙය දකින්නට ලැබෙන නමුත් මෙහි භාවිතාව කුමක් ද යන්න බොහෝ විට තවමත් ඔබ නොදන්නවා ඇති.

මේ CAPTCHA යන වචනය නිර්මාණය වී තිබෙන්නේ Completely Automated Public Turing test to tell Computers and Humans Apart යන තේරුමෙහි කෙටි යෙදුමක් ලෙස වන අතර පරිගණකයක් හා මිනිසෙකු වෙන් කර හඳුනාගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කරනු ලබනවා.


සමහර වෙලාවට අපි පළ කරන comment වල තිබෙන වචන, අසභ්‍යය වචන ලෙස detect කරගෙන ඒවා system එක විසින් automatically ඉවත් කිරීම වැලැක්වීමට නොදැනුවත්ව හරි Leet භාවිතා කරනවා.

Leetspeak

ඉහත උදාහරණයේ තිබෙන වාක්‍යය මිනිසෙකුට තේරුම්ගත හැකි වුවත්, පරිගණකයකට මෙය තේරුම් ගැනීම මදක් අපහසු වන බව ඔබට වැටහෙනවා ඇති. Captcha කියලා කියන්නෙත් මෙන්න මේ වගේ දෙයක්.


1999 වර්ෂයේ අග භාගය වන විට විශාල ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබූ Altavista Search engine එකට, ඔවුන්ගේ link තිබෙන database එකට අනවශ්‍යය links විශාල වශයෙන් ඇතුළු කිරීමට කටයුතු කළ bots නැවැත්වීමට ක්‍රමයක් අවශ්‍යය වුණා.

ඉතින් මේ වෙනුවෙන් Altavista සමාගම විසින් Optical character recognition භාවිතා කර අකුරු ටිකක් image එකක් බවට පත් කර එය යම් ප්‍රමාණයකින් විකෘති කිරීමෙන් අනතුරුව Captcha වල පළමුවැනි සංස්කරණය නිර්මාණය කරන්නට කටයුතු කළා.

Captcha වල පළමුවැනි සංස්කරණය

මේ ආකාරයේ basic captcha ක්‍රමයන් ඊට පසුව බොහෝ ජනප්‍රිය වූ අතර දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා Audio captcha හඳුන්වාදීමට ද මීට සමාන ක්‍රමයක් භාවිතා කරන්නට වුණා.

Audio Captcha එකක ස්වභාවය

කොහොම වුණත් මේ වන විට පරිගණක වලට මේ OCR මගින් සරළ captcha එකක් read කරන එක වගේම AI භාවිතා කරමින් මේ ආකාරයේ patterns හඳුනාගැනීම එතරම් අමාරු කාර්යයක් නො‍වන බව ඔබට වැටහෙනවා ඇති.

මේ නිසාම Captcha වල ආරක්ෂාව සහ අලුත් Captcha ක්‍රමයන් පිළිබඳව නිතරම සොයා බැලීමට මෘදුකාංග ඉන්ජිනේරුවන් නිතරම කටයුතු කරනවා. විශේෂයෙන්ම ඇතැම් Captcha scripts වල දී server එකේ processing power එක ඉතුරු කරගන්න, ‍මේ captcha image එක නිර්මාණය කිරීම සහ ඊට අදාල පිළිතුර user ගේ device එකේදිම render කරනු ලබනවා.

මේ වගේ අවස්ථා වලදී bot එකක් හරහා මේ script වල answer එක තියාගෙන ඉන්න තැන හොයාගෙන ඉතාමත් පහසුවෙන් මේ Captcha වලින් බේරීමට හැකියාව තිබෙන bots නිර්මාණය කරනු ලබනවා.

මේ bot වල තාක්ෂණය ඉහළ යන වේගය නිසාවෙන්ම Captcha සඳහා භාවිතා කරනු ලබන ක්‍රමයන් ද සෑම විටම ඊට පියවරක් ඉදිරියෙන් තබාගැනීමට මොවුන්ට සිදු වුණු අතර විශේෂයෙන්ම Images භාවිතා කරමින් සහ ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් ලබා දෙන Captcha challenges ‍මේ සඳහා උදාහරණ වෙනවා.


ඒත් මෑත කාලීනව Google සමාගම විසින් හඳුන්වා දුන් No-captcha තාක්ෂණය නිසාවෙන් මේ Captcha challenges මිනිසුන් හට ඉතාමත් පහසු ලෙස නිර්මාණයක කරන්නට සමත් වෙලා තිබෙනවා.

මෙහිදී images, අකුරු හෝ audio භාවිතා නොවන අතර, මෙහිදී මේ captcha එක mark කිරීමට පෙර පරිශීලකයාගේ mouse එක ගමන් කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කරනු ලබනවා.

සාමාන්‍යයෙන් bot එකකින් mouse එකක් move කරන විට එය සරළ රේඛීය ලෙස ගමන් කරනු ලබන අතර අපි mouse එක භාවිතා කරන විට අදාල තැනට pointer එක රැගෙන යන්නේ ඉතාමත් අපිලිවෙල මාර්ගයක බව අපි හැමෝම දන්න කාරණයක්.

මෙන්න මේ වගේ Browser එක හරහා ලබාගත හැකි IP Address එක, Cookies වැන තොරතුරු ද භාවිතා කරමින් bot කෙනෙක් ද, එහෙමත් නැතිනම් සාමාන්‍යය මිනිසෙක් ද යන්න හඳුනාගනු ලබනවා.


මේ Captcha වල භාවිතාව පිළිබඳව දැන් ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති. මේ හරහා Social media වල මහා පරිමාණය fake profile හදන එක නවත්වන්නට, fake profile වලින් comment දැමීම වැලැක්වීමට වගේ ආරක්ෂාව සම්බන්ධ දේ වලදී බොහෝ වෙලාවට භාවිතා කරනවා.

සමහර විට මේ ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.