Amazon Alexa සහ Apple Siri ගැන සිතන විට ඔබට සංවේගාත්මක හෝ ප්‍රකාශක අදහස් සිතට එන්නේ නැති අතර ඒ වෙනුවට ඔබට දැනෙන්නේ ඒකාකාර වූ හඬවල් නේද? ඔව්, නමුත් ඒවා Voice Assistant කෙනෙක් හට හොඳ නමුත් පරිගණක ක්‍රීඩා, සිනමා හෝ කතාන්දර වැනි මාධ්‍ය වලට නොගැලපෙයි.

ඒ නිසා ගැඹුරු සංවේදී ශබ්ද නිර්මාණය කල හැකි AI එකක් නිර්මාණය කිරීමට Sonantic සමාගම උත්සාහ කරනු ලබන අතර එංගලන්තයෙන් ආරම්භ කල මෙම කුඩා ව්‍යාපාරය පසුගිය මාසය වන විට EQT Ventures හරහා යූරෝ මිලියන 2.3ක අරමුදලක් එකතු කර තිබෙනවා.

මේ අතර  ඔවුන්ගේ අති දක්ෂ තාක්ෂණික හැකියාවන් පෙන්නුම් කරන වීඩියෝවක් නිකුත් කර ඇත.

Sonantic ආයතනය ප්‍රකාශ කරන පරිදි මෙහි එන සියලු හඬවල් පරිගණක නිර්මාණ වන අතර ඒවා නිර්මාණය කිරීමට භාවිතා කර ඇත්තේ මොවුන්ගේම නිර්මාණයක් වූ Audio Editor එකක් බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම editor එකෙහි විවිධාකාර වූ හඬවල් ඇතුලත් වන අතර මෙම ආයතනයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Zeena Qureshi පවසන පරිදි මෙම හඬවල් සත්‍ය හඬ නිර්මාණකරුවන්ගේ හඬවල් පදනම් කරගෙන සාදා ඇති අතර මෙයින් ඉපැයෙන ලාභාංශ ඔවුන් හටත් ලබාදීමට කටයුතු සැළසුම් කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ ඔවුන්ගේ Audio Editor එකේ interface එක.

සම නිර්මාතෘ සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරීවරයා (CTO) වන John Flynn කියන්නේ, ඕනෑම Game Studio එකක ආරම්භයේ දී බොහෝ විට දස දහස් ගණනක සංවාද පටිගත කළ යුතු වුවත්, මෙමඟින් එය ඉතා ඉක්මනින් හා පහසුවෙන් කරගත හැකි වන බවයි.

Game එක තුල එක් එක් අවස්ථා වලදී අවශ්‍යය වන හඬ වෙනස් කිරීම්, උදාහරණයක් ලෙස දුවන අවස්ථාවකදී නම් වැඩිපුර හුස්ම ගැනීම පෙන්නුම් කිරීම , නැතහොත් එක් එක් අවස්ථාවලදී හැඬීම් හෝ කෑගැසීම් වුවත් පෙන්නුම් කිරීමට මෙය සමත් වෙයි.

ඒ අතරම Flynn කියා සිටින්නේ, මෙහි ඉලක්කය පරිගණක ක්‍රීඩාවල හඬ නළුවන් වෙනුවෙන් ආදේශ කිරීම පමණක් නොව, ඒ වෙනුවට නව ආකාරයේ කතන්දර කිවීමේ හැකියාවනුත් ගවේෂණය කිරීම බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා Sonantic.io වෙබ් අඩවිය භාවිතා කළ හැක.