හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් චීන සමාගම රාශියක් සමඟින් තිබුණු සබඳතා අවහිර කිරීමට කටයුතු කළා මතක ඇති.

මේ අනුව ප්‍රධාන වශයෙන්ම Huawei සමාගම සහ ඊට අනුබද්ධ ආයතන මෙන්ම තවත් චීන සමාගම් රාශියක්ම blacklist කිරීමටත්, ඇමෙරිකානු තාක්ෂණයන් හෝ උපාංගයන් එම සමාගම් වලට භාවිතා කිරීමේ හැකියාව අවහිර කිරීමටත් ඇමෙරිකාව කටයුතු කරනු ලැබුවා.

ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ මෙම blacklist එකට මේ වන විට චීන තාක්ෂණික දැවැන්තයෙක් වන, Semiconductor Manufacturing International Corporation, එහෙමත් නැතිනම් SMIC සමාගම ඇතුලත් කර ඇති අතර, චීනයේ විශාලතම chip නිෂ්පාදනය කරන සමාගම වන්නේ මෙම සමාගමයි.

TSMC සහ Samsung සමාගම් මෙන් චීනයේ සිටින විශාලතම contract chipmaker වන්නේ මෙම සමාගම වන අතර Huawei වැනි වෙනත් චීන සමාගම් වලට සහ ඔවුන්ගේ නිෂ්පාදන වලට අවශ්‍යය chips නිෂ්පාදනය කර දීම මොවුන්ගේ ව්‍යාපාරය වෙනවා.

Huawei සමාගමට මේ වන විටත් අනෙකුත් chip නිෂ්පාදකයින්ගේ සහාය ලබාගැනීම අවහිර වී තිබුණු අතර, මෙම SMIC තහනමත් සමඟින් ඔවුන් තවත් අපහසුතාවයට ලක් වන්නේ ඔවුන්ගේ 14nm HiSilicon Kirin 710A chipset එක නිෂ්පාදනය කරනු ලැබුවේ මෙම SMIC සමාගම වන බැවිනි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.