ඇමරිකා එක්සත් ජනපදය විසින් නිරන්තරයෙන්ම චීනය ආදී රටවල් විසින් චීන ජංගම දුරකතන මෘදුකාංග ඔස්සේ සිය පුරවැසියන්ගේ දත්ත සොරා ගන්නා බව හා ඒවා චීනයට ලබා දෙන බව චෝදනා කරන බව නිරන්තරයෙන්ම දැකගත හැකි වෙනවා.

මෙම තත්ත්වය නිසා චීනය පදනම් කරගත් තාක්ෂණික දැවැන්තයින් වන ZTE, Huawei, ByteDance වැනි සමාගම් වෙත දැඩි කොන්දේසි, සම්බාධක හා තහනම් කිරීම් පවා පනවා තිබෙන අතර එම නිසා එම සමාගම් මේ වන විට ඔවුන්ගේ වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීමේ අර්බුධයකට මුහුණ දී ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.

කොහොම නමුත් සිය පුරවැසියන්ගේ තොරතුරු වෙනත් රටවල් විසින් සොරා ගන්නා බව චෝදනා කරන ඇමරිකාව විසින් ම තම පුරවැසියන්ගේ දත්ත ලබා ගැනීම සඳහා, ඔවුන් විසින් වැඩිපුරම භාවිතා කරන 500 කට වැඩි mobile apps වලට tracking code එකක් ඇතුළත් කර ඇති බව Wall Street Journal පුවත්පත වාර්ථා කරනු ලබනවා.

බුද්ධි අංශවල පදනමක් ඇති එක්සත් ජනපද හමුදා ප්‍රවීනයන් දෙදෙනකු විසින්, Virginia ප්‍රදේශය පදනම් කරගෙන පිහිටුවන ලද Anomaly Six LLC නම් කොන්ත්‍රාත් සමාගමක් සමග සම්බන්ධ වී ඇමරිකාව විසින් මෙම තොරතුරු රැස් කරන බව සඳහන් කර තිබෙන අතර මෙම කොන්ත්‍රාත් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ tracking code එකක් mobile apps වලට ඇතුලත් කිරීම සඳහා app develop කරන්නන් හට මුදල් ගෙවනු ලබන බව මෙම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

ඒ හරහා මෙම සමාගම විසින් ඇමරිකානු පුරවැසියන් මිලියන සිය ගණනකගේ දත්ත එක් රැස් කරන අතර පසුව ඒවා ඇමෙරිකානු රජයට අලෙවි කරන බව මොවුන් පෙන්වා දෙනවා.

මෙලෙස location data track කිරීම සහ එම දත්ත එකතු කිරීම පිළිබඳව තිබෙන නීති වලට අනුව මෙම ක්‍රියාවලිය නීති විරෝධී නොවන්නේ මෙලෙස එකතු කරනු ලබන දත්ත anonymous, එහෙමත් නැතිනම් අනන්‍යතාවය හෙළි නොවන සේ එකතු කිරීමත්, advertising හෝ marketing වැනි ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් එකතු නොකිරීමත් වන බව Android Authority වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කොහොම වුණත්, යම්කිසි පුද්ගලයෙකු රාත්‍රී කාලය ගත කරන ස්ථානය ඔහුගේ නිවස බවත්, උදෑසන අවදි වී ගමන් කරන ස්ථානය office එක ලෙස අනුමාන කළ හැකි අතර, මේ ආකාරයෙන් ආහාර ගැනීමට ගමන් කරන ස්ථාන, භාවිතා කරන ගමනාගමන විධි ආදී බොහෝ තොරතුරු මේ දත්ත පදනම් කරගෙන ලබාගත හැකි අතර ඒ අනුව කෙතරම් anonymous ලෙස දත්ත එකතු කළ ද මේ හරහා පුද්ගලයින්ගේ හැසිරීම් රටා හඳුනාගැනීමට සහ අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා.

කෙසේ වුවත් මෙලෙස tracking code එකක් ඇතුළත් කර ඇති mobile apps මොනවාද යන්න පිළිබඳව Wall Street Journal පුවත් පත සඳහන් කර නොමැති අතර එම තොරතුරු වෙනත් ආකාරයකින් ලබා ගැනීමටද හැකියාවක් ලැබී නැහැ.

එවැනි දත්ත සමඟ එක්සත් ජනපද රජය කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තොරතුරු නොමැති අතර සුපුරුදු අනුමානය වනුයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණු හෝ ත්‍රස්තවාදයට එරෙහි වීම විය හැකි බව මෙම පුවත්පත පෙන්වා දී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Wall Street Journal වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.