මේ වන විට අලුතින් නිකුත් වන mid-range ජංගම දුරකථන වල පවා 40 mega-pixel සහ 48 mega-pixel වැනි camera module දැකගැනීමට ලැබෙනවා.

මේ බොහෝමයක් ජංගම දුරකථන වල අන්තර්ගත වනුයේ Sony සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන IMX586 sensor එක සහ Samsung සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ISOCELL Bright GM1 යන image sensor ද්විත්වයයි.

කොහොම නමුත් මේ වන විට Samsung සමාගම විසින් මේ සීමාව අභිබවා යමින් ප්‍රථම වතාවට ජංගම දුරකථන සඳහා මෙගාපික්සෙල් 64ක high-resolution image sensor එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

64MP ISOCELL Bright GW1 නමින් හඳුන්වන මෙම image sensor එකට අමතරව කලින් සඳහන් කළ ISOCELL Bright GM1 මාදිලියේ නවතම සංස්කරණය වන 48MP ISOCELL Bright GM2 image sensor එක ද මේ අවස්ථාවේදීම හඳුන්වා දීමට මොවුන් කටයුතු කර තිබුණා.

මේ image sensor ද්විත්වයම 0.8-μm pixel size එක භාවිතා කරනු ලබන අතර pixel 4ක් එකතු කර එක් pixel එකක් නිර්මාණය කිරීම හරහා ඉතාමත් පැහැදිළි ඡායාරූප ලබා ගැනීමේ තාක්ෂණයක් වන Tetracell තාක්ෂණයෙන් ද සමන්විත වෙනවා.

Tetracell තාක්ෂණය භාවිතා කරමින් අඩු ආලෝක තත්ත්වයක් පවතින අවස්ථා වලදී ඉතාමත් හොඳ තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර මේ 64MP sensor එක හරහා 1080p video එකක් තත්ත්පරයට රූපරාමු 480ක වේගයකින් record කළ හැකි වෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මේ image sensors මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට Samsung සමාගම සූදානමින් සිටින බව ද වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom එක, XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.