ලන්ඩනයේ University College හි පර්යේෂකයින් පිරිසක් විසින් ලොව මෙතෙක් වාර්තා කරන ලද වැඩිම වේගයකින් යුතු අන්තර්ජාල සම්බන්ධතාවය නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය තත්පරයට 178Tb තරම් ඉතා ඉහළ අගයක් ගන්නා බව වාර්තා වන අතර එය කෙතරම් වේගවත්ද කිවහොත්, මෙම නවතම තාක්ෂණය හරහා සම්පූර්ණ Netflix media library එකම තප්පරයකින් download කළ හැකි බව සඳහන් වෙනවා.

1949 දී අමරිකානු ගණිතඥයකු වන Claude Shannon විසින් ප්‍රකාශ කරන ලද දත්ත සම්ප්‍රේෂණයේ න්‍යායාත්මක සීමාවට ද මේ වන විට තාක්ෂණය ක්‍රමයෙන් සමීප වෙමින් තිබෙනවා.

වේගවත්ම දත්ත සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් මීට පෙර පැවති වාර්තාව මෙන් සිව් ගුණයකින් මෙම නව සම්ප්‍රේෂණ තාක්ෂණය වේගවත් වන අතර වර්තමානයේ ලොව භාවිතා කරන ඕනෑම connection එකකට වඩා වඩා දෙගුණයක capacity එකකින් යුක්ත වන බව ද වාර්ථා වෙනවා.

මේ සඳහා optical fibre තාක්ෂණය භාවිතා කර ඇති අතර සාමාන්‍යයෙන් මේ සඳහා භාවිතා කරනු ලබන ආලෝකයේ වර්ණ වලට වඩා පුළුල් පරාසයක වර්ණ භාවිතා කරමින් දත්ත සම්ප්‍රේෂණය කිරීම යන ක්‍රමවේදයන් ඔස්සේ තාක්ෂණය මෙහෙයවමින් මෙම අද්විතීය වේගය ලබා ගැනීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා.

දැනට දත්ත සම්ප්‍රේෂණය කරන දෘශ්‍ය තන්තු මාර්ග වලට නව amplifiers එකතු කිරීමෙන් දැනට පවත්නා තාක්ෂණයට මෙම නව තාක්ෂණය එකතු කොට යාවත්කාලීන කිරීමට හැකියාව තිබෙන අතර එය ඉතාම ලාභදායි වන බවද මෙම පර්යේෂකයින් සඳහන් කර තිබෙනවා.

අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය වන දත්ත ප්‍රමාණයන් දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර, මේ නිසා අධිවේගී අන්තර්ජාල දත්ත සම්ප්‍රේෂණයක අවශ්‍යතාවය මෙම නව තාක්ෂණය ඔස්සේ නුදුරේදීම සපුරාලනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ Fox29 වෙබ් අඩවිය භාවිතා කළ හැක.