මේ වසරේ මුල් භාගය වන විට Bitcoin වල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟින් cryptocurrency ගැනි ලොව පුරා උන්මාදයක් පැතිර ගිය බව ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ Initial Coin Offering (ICO) එහෙමත් නැතිනම් cryptocurrency එකක් ආරම්භයේදී මූලිකව මුදල් නිකුත් කිරීමේ මුවාවෙන් විවිධ ආකාරයේ මූල්‍යයමය වංචාවන් සිදු කිරීමේ ප්‍රවණතාවයක් පැන නැගීම හේතුවෙන් Google සමාගම විසින් ඔවුන්ගේ ads platform එක මත මේ cryptocurrency පිළිබඳ වූ සියළුම වෙළඳදැන්වීම් පසුගිය මාර්තු මාසය වන විට පළ කිරීම අවහිර කරනු ලැබුවා.

නමුත් ක්‍රමයෙන් මේ තහනම ලිහිල් කිරීමට Google සමාගම කටයුතු කරන බව පෙනී යන අතර මේ ඔක්තෝම්බර් මාසයේ සිට ඇමෙරිකාවේ සහ ජපානයේ පමණක් මේ තහනම මදක් ලිහිල් කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. කොහොම නමුත් ඒ හරහා ද කලින් සඳහන් කළ ICO පිළිබඳ වෙළඳදැන්වීම් පළ කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැති අතර නීතිමය වශයෙන් අනුමත වී ඇති cryptocurrency exchange කිරීම සහ මිළඳීගැනීම් සඳහා පමණක් මෙලෙස වෙළඳදැන්වීම් පළ කිරීමට හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මේ පියවර ගැනීමට පැහැදිලි හේතුවක් තවමත් වාර්ථා ‍නොවන අතර මේ වන විට cryptocurrency පිළිබඳව බොහෝ දෙනා අතර යම්කිසි දැනුවත් බවත් ලැබී තිබීම මෙන්ම පසුගිය කාලයේ පැවති උන්මාදය මදක් තුරන් වී යෑම හේතුවක් වන්නට ඇති බව බොහෝ දෙනා මත පළ කරනවා.

පසුගිය ජනවාරි මාසයේදී Facebook සමාගම විසින් මේ cryptocurrency පිළිබඳ වෙළඳදැන්වීම් ඔවුන්ගේ platform එකෙහි ද තහනම් කර දැමූ අතර පසුගිය ජූනි මාසය වන විට ඔවුන් ද මේ තහනම මදක් ලිහිල් කිරීමට කටයුතු කරනු ලැබූ අතර එ් හරහා ද ICO පිළිබඳ වෙළඳදැන්වීම් තවමත් පළ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.