වර්තමානය වනවිට අභ්‍යවකාශය ජය ගැනීමේ තරඟයක් අායතන කිහිපයක් අතරම ඇතිවී තිබෙන අතර මේ තරඟයේ ඊළඟ පියවර තමයි අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් පිටත් කිරීම හා අඟහරු මත ගොඩ බැසීමයි.

ඉතින් මෙහෙම දෙයක් සාකච්ඡා කරන විට ගැටලු ගොඩකට මුහුණ දෙන්න මේ අායතන වලට සිදු වෙනවා. මෙම ආයතන අතරින් ප්‍රමුඛතම ආයතනය වන NASA ආයතනයේ මානව පර්යේෂණ අංශය විසින් 2030දී සිදු කෙරෙනු ඇතැයි අනුමාන කෙරෙන අඟහරු මත පරීක්ෂණ ගැන සහ එම පරීක්ෂණ වලදී ඇති විය හැකි ගැටලු ගැනත්, ඒ ගැන ගත හැකි විසදුම් ගැනත් සාකච්ඡා කර තියෙනවා.

මෙම ගමනේදී පෘතුවියේ පවතින ස්වාභාවික ආරක්ෂණ පද්ධතිය මගින් ලැබෙන ආරක්ෂාව මෙම ගගනගාමීන්ට අහිමි වෙන අතර විකිරණ සඳහා නිරාවරණය වීම නිසාවෙන් මොවුන්ගේ පිළිකා අවධානම අධික ලෙස ඉහල යන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ විකිරණ නිසා පිළිකා අවධානම ඇති වීම, ස්නායු පද්ධතියට හානි සිදු වීම, හැසිරීම් රටාවේ වෙනස්වීම් වැනි අහිතකර ප්‍රථිඵල ඇති වෙන්න පුලුවන් කියලයි පැහැදිලි කරලා තියෙන්නේ. මේ වෙනුවෙන් මෙම ගගනගාමීන් සඳහා ඉතාමත් ආරක්ෂා සහිත වාහන නිෂ්පාදනය කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව ගඟනගාමින්ගේ ඉඩකඩ සීමාසහිත වීම, පෘථිවියේ සිට ඇති අධික දුර, ගුරුත්වාකර්ශණ බලය අඩු වීම හා අනතුරුදායක හා සංවෘත පරිසර වලට සීමා වීම යන අංග යටතේ විස්තර කරලා තියෙනවා.

එසේම කණ්ඩායම් තෝරගැනිමේදී වසර ගනණක් වුවත් එකට සේවය කළ හැකි පිරිස තෝරාගැනීමට අවධානය යොමු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ දිවා රාත්‍රි වෙනස් වීමකින් තොරව වැඩ කටයුතු කිරීමේදී මොවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් අතට හැරෙන්නට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් ISS එක, එහෙමත් නැතිනම් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට නම් මෙසේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් නම්, පැය කිහිපයක් ඇතුලත පෘතුවියට පැමිණීමට හැකියාව ලැබෙන අතර, අවශ්‍යය නම් වෙනත් ආධාරක යානයක් මගින් ආහාර, බෙහෙත් වැනි අවශ්‍යය කළමනා නැවත ලබා දීමක් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

නමුත් මෙම ගමනට ඉදිරිපත් වන පිරිසට හදිසි අවස්ථාවකදී මෙසේ නැවත පෘතුවියට පැමිණීමට හෝ ආධාරක යානයකින් ආහාර හෝ අත්‍යවශ්‍යය කළමනා ලබාගැනීමට හෝ කිසිඳු උපකාරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට සැතපුම් මිලියන 140ක් පමණ ඈතින් පිහිටන නිසා මෙම ගමන සදහා ගඟනගාමීන්ට අවුරුදු 3ක් පමණ ගත කිරීමට සිදු වෙනවා කියලා NASA ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා.

මේ මොන ප්‍රශ්න තිබ්බත් මේ ගමනේ ඒ තරමටම හොද ප්‍රථිඵල තියෙනවා කියලයි NASA ආයතනය නම් කියන්නේ. අපේ වෛද්‍ය ක්ෂේත්‍රයට, තාක්ෂණයට, වගේ ගොඩක් පැති වලට මේ පර්යේශණය ගොඩක් වැදගත් වෙයි කියලා හැමෝම උපකල්පනය කරනවා.