Google Photos කියන්නේ Google සමාගමේ හොඳම සේවාවන් අතරින් එකක් වන අතර මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රිය සේවාවක් බවට පත් වෙලා තියනවා.

මේ සේවාවේ ගුණාත්මක බව සහ සපයනු ලබන පහසුකම් ප්‍රමාණය නිසාවෙන් ඉතාමත් ඉක්මණින් ජනප්‍රියත්වයට පත් වූ මෙය කාලයත් එක්ක වැඩිදියුණු වුණු අතර ඔන්න දැන් Google සමාගම විසින් මේ Google Photos සේවාව software developers ලා හට තමන්ගේ මෘදුකාංග නිර්මාණය කිරීම සඳහා භාවිතා කළ හැකි API එකක් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ Google Photos Library API එක භාවිතා කරමින් නිර්මාණය කරනු ලබන apps හරහා භාවිතා කරන්නන්ට Google Photos සේවාවට Photos upload කිරීමට මෙන්ම Google Photos සේවාවේ ඇති powerful search පහසුකම භාවිතා කිරීමේ හැකියාවද ලබා දෙන්න හැකියාව තිබෙනවා.

මේ Library API එක හරහා පහත සඳහන් core functions software developers ලා හට ලබා දෙනු ලබනවා.

  • පහසුවෙන් photo එකේ ඇති දේ, එය ලබාගන්නා ලද වේලාව, Photo එකේ format එක ආදී attributes මගින් Photos search කළ හැකි වෙනවා
  • සෘජුවම Google Photos සේවාවට හෝ album එකකට photos upload කිරීමේ හැකියාව
  • Albums, Locations සහ Titles වැනි දේ කළමනාකරණය කිරීමේ හැකියාව
  • Share කරන ලද Album වලට පහසුවෙන් වෙනත් පුද්ගලයින්ට access ලබා දීම හා collaborate කිරීමේ හැකියාව ලබා දීමේ හැකියාව

මේ වන විට මෙම API එක ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකි ලෙස එළිදක්වා තිබෙන අතර, ඔවුන්ගේ පැරණි සේවාව වන Picasa Web Albums API එක භාවිතා කරමින් නිර්මාණය කරනු ලැබූ මෘදුකාංග මේ අළුත් API එකට මාරු කිරීම සඳහා උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.