මීට සුළු වේලාවකට ප්‍රථමව Cloudflare සේවාවේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Cloudflare යනු මූලිකව Content Delivery Network (CDN) සේවාවක්, එහෙමත් නැතිනම් එම සේවාව භාවිතා කරන වෙබ් අඩවි වල තිබෙන images, videos සහ විවිධ content, ලොව පුරා ඇති Cloudflare servers වල ගබඩා කර තබා ගනිමින්, අදාල වෙබ් අඩවි පරිශීලනය කරන්නන් හට සේවාව සැපයිය හැකි වේගවත්ම server එක හරහා ඉතාමත් ඉක්මණින් අදාල content ලබා දෙන ආකාරයේ සේවාවකි.

මෙම මූලික කාර්යය හැරුණු විට මේ හරහා SSL certificate ලබා දීම, වෙබ් අඩවි වල වේගය හා ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා අවශ්‍යය වන කටයුතු ඇතුළු විශාල ‍සේවාවන් රාශියකින් සමන්විත වෙන අතර, මේ වන විට අන්තර්ජාලය තුළ ඇති වෙබ් අඩවි වලින් විශාල ප්‍රමාණයක් මෙම සේවාව භාවිතා කරනු ලබනවා.

කොහොම වුණත් මේ වන විට ලොව පුරා මෙම සේවාව භාවිතා කරනු ලබන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අකර්මන්‍යය වී පවතින අතර සාමාන්‍යයෙන් මෙවැනි සේවාවන් අකර්මන්‍යය වූ විට ඒ පිළිබඳව තොරතුරු වාර්ථා කරනු ලබන downdetector.com වෙබ් අඩවියත් මේ නිසාවෙන් අකර්මන්‍යය වී තිබුණා.

දැනට පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති මේ බිඳවැටීම නිසාවෙන් Discord, Shopify, Fiverr, Coinbase වැනි ප්‍රසිද්ධ සේවාවන් පවා අකර්මන්‍යය වී තිබූ නමුත්, මේ වන විට අදාල ගැටළුවට පිළියමක් යෙදීමට Cloudflare ආයතනය කටයුතු කර ඇති අතර, ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කළ බවක් තවමත් වාර්ථා වන්නේ නැහැ.

cloudflarestatus.com වෙබ් අඩවිය හරහා මෙහි දැනට පවතින තත්ත්වය දැනගත හැකි වන අතර technews.lk වෙබ් අඩවිය හා Android, Windows සඳහා වන Techie apps ඇතුළු සියළුම සේවාවන් ද භාවිතා කිරීමේදී ගැටළු ඇතිවිය හැකි බව කනගාටුවෙන් දැනුම් දෙන්නෙමු.


Update:
මෙම බිඳවැටීම සාර්ථකව අවසන් කරමින් නැවත් වරක් තම සේවාව යථා තත්ත්වයට පත් කර ඇති බව Cloudflare ආයතනය විසින් මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ලොව පුරාම ඇති Cloudflare servers වල CPU භාවිතාව හදිසියේම ඉහළ යෑම නිසාවෙන් primary සහ secondary පද්ධති ද්විත්වයේම මෙම තත්ත්වය හටගත් බවත්, බිඳවැටීම සිදුවීම සඳහා මූලික වූ හේතුව පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ cloudflarestatus වෙබ් අඩවිය, Metro වෙබ් අඩවිය හා Express වෙබ් අඩවිය භාවිතා කළ හැක.