2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින Adobe සමාගම විසින් නිළ වශයෙන් Flash Player එක සඳහා සහාය ලබාදීම නවත්වාදැමීමට කටයුතු කරනු ලැබූ අතර, Windows 10 මෙහෙයුම් පද්ධතිය මත Adobe Flash සඳහා සහාය ලබාදීම මීළඟ ජූලි මාසයේ සිට නවත්වාදැමීමට Microsoft සමාගම තීරණය කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

Microsoft සමාගම විසින් Windows 10 සඳහා ලබාදෙන ඔවුන්ගේ මීළඟ feature update එක වන 21H1 update හරහා Windows 10 මෙහෙයුම් පද්ධතියේ ඇති Flash component සියල්ල ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒ සමඟින් Flash player එක මත depend වන content සියල්ල භාවිතා කිරීමේ හැකියාව අහිමි වී යනවා.

මීට අමතරව Adobe සමාගම විසින් සියළුම පැරණි Flash Player සංස්කරණ ඔවුන්ගේ නිළ වෙබ් අඩවි වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒ හරහා Flash content භාවිතා කිරීමට අවශ්‍යය Flash Player එක නැවත ලබාගැනීමේ හැකියාවක් ද නොමැති වී යනවා.

Adobe Flash Player End of Life
Adobe Flash Player End of Life general information

ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් Adobe සමාගම ප්‍රකාශ කර සිටින්නේ ඔබගේ devices වල තවදුරටත් Flash Player එක install කර තිබේ නම්, එය uninstall කර දැමීමට කටයුතු කරන ලෙසයි.

Flash Player එක මෙලෙස භාවිතයෙන් ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ එහි ඇති security vulnerabilities, එහෙමත් නැතිනම් ආරක්ෂක දුර්වලතා වන අතර, ඒවා patch කිරීම වෙනුවට එම platform එක අතහරදැමීමට Adobe සමාගම තීරණය කිරීමත් සමඟින් මෙම තත්ත්වය උදාවී තිබෙනවා.

කෙසේ නමුත් වරෙක සෑම වෙබ් අඩවියකම පාහේ අන්තර්ගත වෙමින් අන්තර්ජාලය හැඩ කළ Flash content වල අවසානය මෙලෙස සනිටුහන් වන අතර, ඒ වෙනුවට අලුතින් හඳුන්වාදුන් HTML5 components විසින් එම ස්ථානය මේ වන විට හිමි කරගෙන තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.