Outlook.com ගිණුම් මාස ගණනාවක් තිස්සේ හැකර්වරුන් හට නිරාවරණය වී තිබූ බව Microsoft සමාගම ප්‍රකාශ කරයි

කතුවරයා
Sachin Kavindu
Save කරන්න
Share කරන්න

    Outlook.com කියන්නේ මේ වන විට බොහොම ප්‍රසිද්ධ Email සේවාවක් වන බව කවුරුත් දන්නවා ඇති.

    කොහොම වුණත් මේ වන විට Microsoft සමාගම විසින් මේ Outlook.com භාවිතා කරනු ලබන ඇතැම් පිරිස් වලට දැනුම් දීමට කටයුතු කර තිබෙන පරිදි, මාස කිහිපයක් තිස්සේ අදාල Outlook.com ගිණුම් වලට හැකර්වරුන්ට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා.

    Microsoft ආයතනයේ support agent කෙනෙකුගේ login details ‍පිටස්තර පුද්ගලයන් හට ලැබීම නිසාවෙන් මෙම වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මාර්තු 28 වැනිදා දක්වා වූ කාළසීමාව තුළ Email address එක, එහි තිබෙන folder වල නම්, Email වල subject එක මේ හරහා හැකර්වරයාට දැකගැනීමේ හැකියාව තිබුණු බව ද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

    කොහොම නමුත් Email වල body එක, එහෙමත් නැතිනම් අන්තර්ගතය හෝ ඒවායේ තිබූ attachments වලට මොවුන්ට access ලබාගත නොහැකි වී තිබුණු බව ද Microsoft සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    Update: 15/04/2019
    අද දින තවත් notification එකක් හරහා ඉහත ප්‍රමාණයෙන් 6%ක් පමණ වූ පිරිසක් දැනුවත් කර තිබූ පරිදි ඔවුන්ගේ email වල අන්තර්ගතය ද මෙම හැකර්වරුන් හට දැකගැනීමේ හැකියාව තිබී ඇති බව Microsoft සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

    එමෙන්ම මෑත කාලීනව සිදු වූ අනෙකුත් data breaches වලට සාපේක්ෂව මෙහිදී මෙම හැකර්වරුන් හට පරිශීලකයන්ගේ passwords හෝ වෙනත් පුද්ගලික දත්ත ලබා ගැනීමේ හැකියාවක් නොතිබූ බව ද Microsoft සමාගම ප්‍රකාශ කරන අතර මෙම සිද්ධියට මුහුණු දුන් පරිශීලකයන් හට මේ බව Email මගින් දන්වමින්, ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන්නට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

    කොහොම නමුත් මේ සිදුවීම හරහා පරිශීලකයන් කී දෙනෙකුගේ ගිණුම් මෙලෙස හැකර්වරුන් හට නිරාවරණය වී ඇත්දැයි යන්න තවමත් හරිහැටි ප්‍රකාශ කිරීමට Microsoft සමාගම කටයුතු කර නොමැති අතර මෙයට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව ද තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.