මීට වසර කිහිපයකට පෙර foldable ජංගම දුරකථන යනු Concept එකක් පමණක් වුවත් අද වන විට එය යථාර්ථයක් බවට පත් කිරීමට නිෂ්පාදකයන් සමත් වී තිබෙනවා.

Samsung හා Huawei යන සමාගම් මෙම අංශයෙන් බොහෝ ඉදිරියට ගොස් ඇති අතර වෙනත් සමාගම් ද සාමාන්‍ය දුරකථන තිරයෙන් ඔබ්බට ගොස් තමන්ගේ ජංගම දුරකථන වලට ද මෙවැනි නව්‍යකරණයන් එක් කිරීමට විවිධ පර්යේෂණ සිදුකරමින් සිටිනවා.

LG සමාගම 2021 වසර මුලදී නිකුත් කිරීමට සූදානම් වන Rollable තිරයක් සහිත ජංගම දුරකථනය පිළිබඳ ප්‍රවෘත්තිය මීට හොඳම උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකි වෙනවා.

මෙම Rollable තිරය සම්බන්ධයෙන් පසුගිය වසරේ දී Patent බලපත්‍රයක් ලබා ගැනීමට LG සමාගම කටයුතු කළ අතර ඔවුන් විසින් මේ වසරේදී 'Project B' ලෙස නම් කරන ලද විශේෂ ව්‍යාපෘතියක් ඔස්සේ මෙම ජංගම දුරකථනයේ නිෂ්පාදන කටයුතු වේගවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

LG සමාගම විසින් මේ වන විටත් මෙම ජංගම දුරකථනයේ prototype version එකක් සමඟින් අත්හදාබැලීම් කටයුතු මේ වන විට සිදු කරමින් සිටින අතර මෙය ලබන වසරේදී එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ සඳහා Flexible OLED panel එකක් භාවිතා කෙරෙන අතර ඒ සඳහා තාක්ෂණය ලබා දෙන්නේ චීනයේ දැවැන්ත OLED තිර නිෂ්පාදකයකු වන BOE සමාගමයි.

මේ සම්බන්ධ තාක්ෂණික ප්‍රවීණයන්ගේ මතය වන්නේ Flexible OLED තිරය නිපදවීම සංකීර්ණ ක්‍රියාවලියක් නොවන බවත්, සංකීර්ණ කොටස වන්නේ දුරකථනයේ design එක හා සෙසු කොටස් flexible තිරයට සහාය දක්වන ආකාරයෙන් නිර්මාණය කිරීම බවයි.

LG සමාගම මෙම අභියෝගය ජය ගැනීමට සූදානමින් සිටින අතර යම් හෙයකින් ඔවුන් සාර්ථක වුව හොත් ජංගම දුරකථන ඉතිහාසය තුළ තවත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමට ඔවුන් සමත් වනු ඇති.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Toms Guide වෙබ් අඩවිය සහ Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.