Cyberbullying, එහෙමත් නැතිනම් විවිධ ආකාරයෙන් තමන්ගේ චරිතයට මඩ ප්‍රචාර දියත් කිරීම, වෙනත් පුද්ගලයන් ඉදිරියේ තමන්ව අපහසුතාවයට පත් වන ආකාරයේ කටයුතු සිදු කිරීම මේ වන විට Social Media වල බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක් බව ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් මේ ආකාරයේ සිදුවීම් වලින් ගැලවී සිටීමට හැකියාව ලබා දෙන පහසුකමක් Instagram වෙත එකතු කිරීමට කටයුතු කර තිබෙන අතර මේ හරහා වෙනත් පුද්ගලයෙකු විසින් යම්කිසි ආකාරයකින් තම post වල, තමන් අපහසුතාවයට ලක් වන ආකාරයේ comments පළ කර ඇත්නම්, අදාල පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව ඔහු පළ කරන comments වෙනත් පුද්ගලයන් හට දැකගත නොහැකි වන ලෙස flag කිරීමේ හැකියාව ලැබෙනවා.

අදාල comments පළ කිරීමට කටයුතු කළ පුද්ගලයා හට එම comments තවදුරටත් පෙන්වනු ලබන නමුත් ඔහු හා තමන් හැර, වෙනත් කිසිවෙකුට ඒවා දැකගත නොහැකි ලෙස සැඟවී යන අතර මේ හරහා අදාල මඩ ප්‍රචාර වෙනත් පුද්ගලයන්ගේ ග්‍රහණයට හසු නොවී බේරී සිටීමේ හැකියාව තමන් හට ලැබෙනවා.

මීට අමතරව යම් පුද්ගලයෙකු විසින් වෛරී ප්‍රකාශයක් හෝ වෙනත් පුද්ගලයෙකු අපහසුතාවයට පත් වන ආකාරයේ comment එකක් පළ කිරීමට යන්නේ නම්, එය පළ කිරීමට ප්‍රථමව හඳුනාගෙන ඒ පිළිබඳව විමසීමක් සිදු කිරීමේ පහසුකමක් ද හඳුන්වා දී ඇති අතර මෙම පහසුකම ලබා දීමට Artificial Intelligence භාවිතා කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

සාමාන්‍යයෙන් Facebook හෝ වෙනත් platform වල වෙනත් පුද්ගලයෙකු මේ ආකාරයෙන් තමන් අපහසුතාවයට පත් කරන්නේ නම් එය report කළ හැකි වුවත්, අදාල post එක review කිරීමට විශාල කාලයක් ගත වන බැවින්, ඉන් පසු එය ඉවත් කළ ද ඒ වන විට සිදුවීමට හැකි සියළු දේ සිදුවී හමාර බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.

Instagram වලට හඳුන්වා දුන් මේ අලුත් පහසුකම හරහා මෙයට කදිම විසඳුමක් ලබා දී තිබෙන අතර, ක්ෂණිකව අදාල පියවර ගැනීමේ හැකියාව පරිශීලකයා හට ලබා දීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Instagram-press වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, Indiatoday වෙබ් අඩවිය හා Quartz වෙබ් අඩවිය භාවිතා කළ හැක.