ඔයාලට මතක ඇති Google සමාගම විසින් පරීක්ෂණ කරමින් පවතින ඔවුන්ගේ අළුත්ම මෙහෙයුම් පද්ධතිය වන Fuchsia OS එක ගැන පසුගිය ජූලි මාසයේ අප ඔයාලව දැනුවත් කළා.

Google සමාගම විසින් වසර ගණනාවක් තිස්සේ වැඩිදියුණු කිරීම් කටයුතු සිදු කරගෙන යන මේ අලුත් මෙහෙයුම් පද්ධතිය මේ වනතුරු කිසිඳු device එකක් මත අත්හදා බැලූ බවට වාර්ථා වී නොතිබුණත්, ඔන්න දැන් Huawei සමාගමේ Honor Play ජංගම දුරකථනයේ මෙය අත්හදා බැලූ බවට සාක්ෂි තිබෙනවා.

මේ අනුව Huawei සමාගමේ නිෂ්පාදනය කරනු ලබන Huawei HiSilicon Kirin 970 SoC එක මත මෙම අත්හදාබැලීම සිදු කර ඇති අතර මේ සඳහා Zircon kernel එක භාවිතා කර තිබෙන බවත් මීට අදාල source code commit එකේ සඳහන් වෙනවා.

මේ අලුත් operating system එක සම්පූර්ණ වශයෙන්ම නිර්මාණය කර අවසන් නොවුවත්, ඉදිරි කාළ සීමාව ඇතුලත මෙය Chrome OS සහ Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට භාවිතා කළ හැකි වන බව දැනගන්නට ලැබෙනවා.

Google සමාගමේ Nexus ජංගම දුරකථන මාලාව අතුරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් Nexus 6P ජංගම දුරකථනය නිෂ්පාදනය කරනු ලැබුවේ ද මේ Huawei සමාගමයි. මේ අනුව මීළඟ වසර කිහිපය ඇතුලත පළමුවෙන්ම Fuchsia OS එක සහිත ජංගම දුරකථනයක් නිෂ්පාදනය කර එළි දැක්වීමට Huawei සමාගම සමත් විය හැකි ප්‍රවණතාවයක් ද පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.