Huawei සමාගමේ CFO අත්අඩංගුවට පත්වීමත් සමඟ සමහර චීන සමාගම් විසින් ඔවුන්ගේ සේවකයන් හට Huawei ජංගම දුරකථන මිලදීගන්න යොමු කළ බවත්, iPhone භාවිතා කිරීම තහනම් කිරීමට කටයුුතු කළ බවත් අපි ඔයාලව දැනුවත් කළා ඔයාලට මතක ඇති.

ඒ වගේම Huawei සමාගම විසින් තම පාරිභෝගිකයන් හට අළුත් අවුරුද්දට සුබපැතීම සඳහා ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා පණිවිඩයක් පළ කර තිබුණු අතර එය iPhone එකක් හරහා පළ වී තිබීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

මේ වන විට එම Twitter පණිවිඩය ඉවත් කර ඒ වෙනුවට වෙනත් පණිවිඩයක් පළ කිරීමට Huawei සමාගම කටයුතු කර තිබුණත් මෙම සිදුවීමට සම්බන්ධ සේවකයන් දෙදෙනෙකුගේ මාසික වැටුප යුවාන් 5,000කින් (රුපියල් 133,000) පමණ කප්පාදු කිරීමටත් මාස 12ක්, එනම් මේ වසර අවසාන වන තුරු ඔවුන්ගේ තනතුරු වලින් පහත දැමීමටත් කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මෙයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම Twitter ගිණුම් වල පාලනය බාර දී තිබෙන්නේ Sapient නම් වූ වෙනත් ආයතනයකට බවත්, ඔවුන්ගේ පරිගණක වල ස්ථාපනය කර තිබූ VPN සම්බන්ධතා වල ගැටළුවක් හේතුවෙන් චීනය තුළ සිට Twitter access කිරීමට නොහැකි බවයි.

මේ හේතුව නිසා වෙනත් රටක sim එකක් ඇතුලත් කරන ලද iPhone එකක් භාවිතා කර එම Twitter පණිවිඩය පළ කිරීමට ඔවුන් කටයුතු කර තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.