ඇමෙරිකානු රජය විසින් නිකුත් කළ නියෝගයකට අනුව Huawei සමාගමටලබා දී තිබූ Android license එක අත්හිටුවීමට  Google සමාගම කටයුතු කළ බව මීට කලින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම වුණත් මේ වන විට Huawei සමාගම මේ ආකාරයෙන් සාමාන්‍යය Android eco-system එක භාවිතා කිරීමෙන් ඈත් කිරීම හරහා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව Google සමාගම විසින් ඇමෙරිකානු රජයට පෙන්වාදීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

Android open source project එක භාවිතා කරමින් Huawei සමාගම ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කළහොත්, ඒ හරහා Google Play Protect වැනි ආරක්ෂක උපක්‍රම අදාල devices වල අන්තර්ගත නොවීම හේතුවෙන් එය ඉතාමත් පහසුවෙන් hack කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙනවා.


ඇතැම් Android ජංගම දුරකථන factory එකෙන් නිකුත් වන විටම, එනම් පරිශීලකයා අතට පත් වන්නටත් පෙර සිටම Malware සහ Spyware වැනි අනතුරුදායක apps install වී පැවතුණු බව පසුගිය දිනෙක Google සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණා.


Google Play Protect සේවාව හරහා malware, viruses සහ වෙනත් ආරක්ෂාව පිළිබඳ අවධානම් සහගත දේ පිළිබඳව ලොව පවතින සෑම Android ජංගම දුරකථනයක්ම පාහේ පරීක්ෂා කරමින් ඒ පිළිබඳව අවශ්‍යය ආරක්ෂක කටයුතු සිදු කිරීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

මීට අමතරව Android ජංගම දුරකථන භාවිතා කරන සියළුදෙනාම පාහේ Google Play Store එක හරහා පමණක් apps install කරගැනීමට කටයුතු කරන අතර, අනෙකුත් app store වලට වඩා ඔවුන්ගේ app store එක නිතරම ආරක්ෂාකාරීව පවත්වාගෙන යෑමට අවශ්‍යය කරන කටයුතු නිරතුරුවම සිදු කිරීමට Google සමාගම කටයුතු කරනු ලබන බැවින් Android සඳහා දැනට පවතින ආරක්ෂිතම App Store එක ‍Google Play එක බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

යම්කිසි හේතුවක් නිසාවෙන් Huawei සමාගම විසින් මේ Google Services නොමැතිව, ඔවුන්ගේම Android සංස්කරණයක් සහිතව ලොව පුරා ජංගම දුරකථන අලෙවි කිරීමට කටයුතු කළහොත් අදාල devices ඉතාමත් පහසුවෙන් හැකර්වරුන්ගේ ග්‍රහණයට පත් වන බවත්, දැනටමත් ඇමෙරිකාව තුළ Huawei ජංගම දුරකථන තහනම් කර ඇති නමුත් එය ලොව පුරා අනෙකුත් රටවල් වල පැතිර යන ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එවැනි තත්ත්වයක් තුළ ඇමෙරිකාවේ සිටින පුද්ගලයෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ආකාරයේ ජංගම දුරකථනයක් සහිත පුද්ගලයෙකු හට යවනු ලැබුවහොත්, කොතරම් හොඳ තත්ත්වයේ end-to-end encryption එකක් තිබුණත්, අදාල ජංගම දුරකථනයේ Malware එකක් තිබුණහොත්, එම තොරතුරු ලබාගැනීමට වෙනත් පාර්ශවයන් හට අවස්ථාව ලැබෙන බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ලොව දෙවැනියට විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා Huawei සමාගම වන බැවින් මේ තත්ත්වය ඉතාමත් සංකීර්ණ තත්ත්වයකට හැරෙනු ඇති බව ඇමෙරිකානු රජයට පෙන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අතර, මෑතකදී සිදු වූ මේ වෙළඳ යුද්ධය පිළිබඳව ඇමෙරිකානු රජය සමඟ සෘජුවම කතා කිරීමට Huawei සමාගම කටයුතු කර නොමැති බවත්, Google සමාගම විසින් ගෙන ආ කතිකාවත ඉදිරියට යන ආකාරය දෙස ඉතාමත් විමසිල්ලෙන් බළා සිටින බවත්, මේ වන විට Huawei සමාගම සහ ඇමෙරිකානු රජය අතර ඇති ප්‍රධානතම සම්බන්ධතාවය Google සමාගම විසින් ගෙන ආ මෙම සාකච්ඡාව බවත් Huawei සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, නිළ Google Blog එක සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.