පසුගිය මාසයක පමණ කාළසීමාව ඇතුලත Huawei සමාගම ඇමෙරිකාව තුළ blacklist වීමත් සමඟින් එම සමාගමේ වෙළඳ කටයුතු වලට විශාල බළපෑමක් ඇති වූ බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

ඇමෙරිකාව විසින් Huawei සමාගම සමඟින් ඇති සියළුම වෙළඳ ගිවිසුම් තහනම් කළද මේ වන විට රුසියාවේ විශාලතම mobile service provider වන MTS සමාගම, රුසියාව තුළ 5G Network නිර්මාණය කිරීමේ කටයුතු සඳහා Huawei සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබෙනවා.

චීන ජනාධිපති Xi Jinping සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස ඇමෙරිකාව විසින් එම රටවල් කෙරෙහි දක්වන ආකල්ප වලට එක්ව මුහුණදීමට චීනය සහ රුසියාව අත්වැල් බැඳගෙන ඇති බව Vladimir Putin විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව 2019 සහ 2020 අතරතුර කාළසීමාව ඇතුලතදී next generation 5G network එකක් රුසියාවම ආවරණය වන පරිදි නිර්මාණය කෙරෙනු ඇති අතර ලබන වසරේදී මේ network එක මහජනතාවට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව MTS ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

බොහෝ වෙළඳ ගිවිසුම් අවලංගු වෙමින් පැවති අවාසනාවන්ත සති කිහිපය පසු කර Huawei සමාගමේ නිර්මාතෘවරයා වන Ren Zhengfei විසින් සංකේතාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බටහිරින් ආලෝකය නික්ම ගිය ද, පෙරදිග තවමත් හොඳින් දිදුලමින් පවතින බවත් ඇමෙරිකාව යනු මුළු ලෝකයම නොවන අතර එය ලොවෙන් එක් කොටසක් පමණක් වන බවත් ය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.