Larry Page සහ Sergey Brin යන දෙදෙනා එකතු වී 1997 වර්ෂයේදී Google.com යන domain name එක මුලින්ම register කරනු ලැබුවත්, තවත් වසරක් පමණ ගත වන තුරු ඔවුන්ට එය සමාගමක් වශයෙන් ලියාපදිංචි කරගැනීමට නොහැකි වී තිබෙනවා.

ඉතින් මේ Google සමාගම නිළ වශයෙන් ආරම්භ කරනු ලැබුවේ 1998 වර්ෂයේ සැප්තැම්බර් මස 4 වැනිදා වුවත්, වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ උපන්දිනය සමරන්නට කටයුතු කරනු ලැබුවේ සැප්තැම්බර් මස 27 වැනිදා වන අතර අද දිනය වන විට මේ Google සමාගම ආරම්භ කර වසර 20ක් සම්පූර්ණ වෙනවා.

මෙවර “popular searches in history” යන තේමාව යටතේ මෙම අවස්ථාව සැමරීමට කටයුතු කර ඇති Google සමාගම 20years.withgoogle.com යනුවෙන් ගතවූ කාලය තුලදී ලොව වැඩි වශයෙන්ම සෙවීමට ලක් කරන ලද keywords එකතු කර වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම ගතවූ විසි වසර තුළ ඔවුන් නිර්මාණය කළ වැදගත් Doodle පිළිබඳව ඉහත video එක සහ blog post එකක් නිකුත් කර ඇති අතර මුලින්ම Google සමාගම ආරම්භ කරන ලද ගරාජය ද Google Street view හරහා නැරඹීමේ හැකියාව ලබා දී තිබෙනවා. (මෙම ගරාජය Larry සහ Sergey ගේ මිතුරියක වූ Susan Wojcicki ට අයිති වූ එකක් වන අතර ඇය 1999 වර්ෂයේදී Google සමාගමට එකතු විය.)

2006 වසරේදී Google සමාගම විසින් YouTube එක මිළදී ගන්නා අතර මේ වන විට ඉහත සඳහන් කළ Susan Wojcicki මේ YouTube හි CEO බවට පත් වී සිටිනවා. 2015 වර්ෂයේදී මේ Google ආයතනය නැවත structure කිරීමට කටයුතු කළ අතර Alphabet නම් වූ ආයතනයක් යටතේ මෙය නැවත ලියාපදිංචි කරනු ලබනවා.

කොහොම නමුත් ගතවූ විසි වසර තුල ‍තාක්ෂණික ලෝකයට නව මුහුනුවරක් එකතු කිරීමට මෙන්ම නව හඳුන්වාදීම් රැසක් ඉදිරිපත් කරන්නට මේ Google සමාගම කටයුතු කළ බව මේ වන විට අපි හැමෝම දන්න කාරණයක්.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට Google Blog එක, vox වෙබ් අඩවිය සහ theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.