Magnetic resonance imaging, එහෙමත් නැතිනම් MRI scanning පිළිබඳව මේ වන විටත් ඔබ බොහෝ තොරතුරු දන්නවා ඇති.

කොහොම නමුත් මේ දක්වා MRI scan එකක් සිදු කිරීම සඳහා අදාල ‍රෝගියා එම යන්ත්‍රය තුළ පැයක පමණ කාළයක් දක්වා රඳවා තබාගත යුතු වන අතර, මෙය රෝහලක කාර්යයක්ෂමතාවයට මෙන්ම රෝගියාගේ අපහසුතාවයට ද සෘජුවම හේතු වෙනවා.

මේ වන විට Facebook සමාගමේ AI Research කණ්ඩායමේ ඉන්ජිනේරුවන් පිරිසක් සහ NYU Langone Health ආයතනයේ විකිරණවේදීන් එකතු වී මේ MRI scans සිව් ගුණයකින් පමණ වේගවත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට සමත් වී තිබෙනවා.

Low-resolution සහ high-resolution MRI scans යුගලයන් භාවිතා කරමින් මේ සඳහා සකස් කළ machine learning model එකක් train කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර ඒ හරහා සාමාන්‍යයෙන් ලබාගනු ලබන දත්ත වලින් හතරෙන් එකක් පමණ ලැබෙන විටම, ඉතිරිය predict කිරීමට මේ AI Model එකට හැකියාව තිබෙනවා.

මෙම පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මොවුන් හට වසර ගණනාවක් ගතවී ඇති අතර, මේ වන විට මෙම ක්‍රමයේ ඇති විශ්වාසනීයත්වය පිළිබඳව විකිරණවේදීන් සහ වෛද්‍යවරුන් සමඟින් අත්හදාබැලීම් කටයුතු සිදු කරමින් බවතින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සාමාන්‍යය MRI Scan එකක්
Input data වලින් 4න් එකක් පමණක් භාවිතා කළ ලබාගත් නව fastMRI Scan එකක්

මේ අනුව සාම්ප්‍රදායික ක්‍රමයට ලබාගන්නා MRI scans වලින් ලැබෙන output එක සහ මේ fastMRI scan එක හරහා ලැබෙන output සංසන්දනය කරමින්, නව ක්‍රමය තුලින් ලබාගන්නා output එකෙහි නිරවද්‍යයතාවය පරීක්ෂා කරනු ලබනවා.

මෙහි මීළඟ පියවර වන්නේ මෙම තාක්ෂණය රෝහල් වලට ලබාදීම වන අතර, මොවුන් විසින් නිර්මාණය කළ data model එක ‍දැනට පවතින MRI scanners සමඟින් අමතර hardware කිසිවක් නොමැතිව භාවිතා කළ හැකි බවත්, දැනට මෙම MRI scanners නිෂ්පාදනය කරනු ලබන ආයතන සමඟින් ඉදිරියේදී නිපදවීමට නියමිත යන්ත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඔවුන් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.