සාමාන්‍යයෙන් අප භාවිතා කරනු ලබන Passwords යම්කිසි සේවාවකට ගබඩා කරගැනීමට අවශ්‍යය නම්, ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් අදාල Passwords encrypt කර ඊට අදාල hash code එකක් පමණක් save කරගනු ලබනවා.

මේ අනුව Database එක හැකර් ප්‍රහාරයකට ලක් වුවත්, එම හැකර්වරුන් හට දැකගැනීමට ලැබෙන්නේ විවිධ අකුරු, ඉලක්කම් හා සංකේත වලින් යුතු, ඉහත කී encrypted hash එක පමණක් වන අතර, ඒ හරහා සැබෑ Password එක දැකගැනීමේ හැකියාව ඇහිරී යනවා.

කොහොම නමුත් Facebook සමාගම මිලියන ගණනක් තම පරිශීලකයන්ගේ password මෙසේ encrypt නොකර, ඒ ආකාරයෙන්ම ගබඩා කිරීමට කටයුතු කර තිබීම නිසාවෙන්, 20,000ක් පමණ වූ Facebook සේවකයන් හට කිසිඳු බාධාවකින් තොරව එම Passwords දැකගැනීමේ හැකියාව ලැබී තිබුණු බව මේ වන විට වාර්ථා වෙනවා.

කොහොම නමුත් මෙම Passwords සහිත files තම සේවකයන් විසින් අවභාවිතා කළ බවක් වාර්ථා නොවන බව මෙන්ම බාහිර පුද්ගලයන් හට access කිරීමේ හැකියාවක් නොතිබුණු බව Facebook සමාගම විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට මෙම ගැටළුව මඟහරවාගැනීමට අවශ්‍යය කටයුතු සිදු කර තිබෙන බවත්, මෙයට අදාල වන මිලියන 600කට අධික Facebook, Facebook Lite සහ Instagram පරිශීලකයන් හට මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බවත් ඔවුන් සඳහන් කරනවා.

මීට අමතරව, තම Facebook හෝ Instagram passwords වෙනත් සේවාවන් සඳහා භාවිතා කරනවා නම් හැකි ඉක්මණින් එම Password මාරු කරගන්නා ලෙසත්, two-factor authentication වැනි ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරන ලෙසත්, Facebook සහ Instagram භාවිතා කරන්නන්ගෙන් Facebook සමාගම ඉල්ලා සිටිනවා.

මේ ආකාරයේ සිදුවීම් අනාගතයේදී සිදුවීම වලක්වාගැනීමට ඔවුන් හැකි උපරිම අයුරින් කටයුතු කරනු ලබන බවත් Facebook සමාගම දන්වා සිටිනවා.

‍මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom එක, Softpedia වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.