මේ වන විට සමස්ථ Mobile App ‍අලෙවියෙන් 99.99%ක පමණ ප්‍රමාණයක් Google සහ Apple සමාගම් වලට අයත් වන අතර එහි ඒකාධිකාරයක් පවත්වාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙන බවක් දැකගන්න පුළුවන්.

මේ Google Play Store සහ Apple App Store එක හරහා අලෙවි කරනු ලබන සෑම app එකකින්ම ලැබෙන ආදායමෙන් 30%ක ප්‍රමාණයක් එම සමාගම් විසින් ලබාගන්නා අතර අදාල app developer හට ලැබෙන ආදායමෙන් 70%ක් පමණක් ලබාගතහැකි වෙනවා.

එමෙන්ම අදාල App එක Unreal Engine එක භාවිතා කරන Game එකක් නම්, තවත් 5%ක ප්‍රමාණයක් Epic Games ආයතනයට ගෙවිය යුතු වෙනවා.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා Epic Games ආයතනය විසින් ඔවුන්ගේම App Store එකක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අලුත් App Store එක හරහා අලෙවි කරනු ලබන Apps වල ආදායමෙන් 88%ක ප්‍රමාණයක් developer හට ලැබෙන අතර Epic Games ආයතනය ලබා ගන්නේ 12%ක ප්‍රමාණයක් පමණක් බවත් දැනගන්නට ලැබෙනවා.

Epic Games ආයතනය අපි කවුරුත් හොඳින් දන්න Fortnite, Unreal Tournament වැනි games මෙන්ම Unreal Engine එක ද නිර්මාණය කළ සමාගම වන අතර 2018 වර්ෂය සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ආදායමක් ලැබීමට මොවුන් සමත් වී තිබෙනවා.  

මේ අලුත් app store එක විශේෂයෙන්ම video-games ඉලක්ක කරගෙන නිර්මාණය කෙරෙන අතර පසුගිය දෙසැම්බර් 6 වැනිදා ආරම්භ කළ මෙය, මේ වන විට PC සහ Mac පරිගණක වලට සහාය දක්වන Games අලෙවි කිරීමට කටයුතු කරනු ලබනවා.

එමෙන්ම ලබන වසරේ අග භාගය වන විට Android සහ අනෙකුත් platform වලට ද මේ Epic Game Store එක ගෙන ඒමට ඔවුන් බළාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙනවා.

ඒ වගේම ඔයා YouTube හෝ Twitch හරහා game stream කරන කෙනෙක් නම්, තමන්ගේ video බළන්නන් Epic Game Store එක වෙත යොමු කරවා (affiliate marketing) පළමු මාස 24 ඇතුලත ඔවුන්ගේ මිලදීගැනීම් වලින් 5%ක කොමිස් මුදලක් ලබා ගැනීමට හැකියාව ලබාදෙන වැඩපිළිවෙලක් ද ආරම්භ කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Epic Games Blog එක, TechCrunch වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.