අපේ ප්‍රියතම operating system එක Windows වුණත්, සමහර වෙලාවට එකම විදිහට computer එක use කරලා ඇති වෙනවා, එහෙමත් නැතිනම් අපේ තියෙන පරිගණකයේ hardware පරණ නිසා Windows run වෙන්නේ ඉතාමත් අපහසුවෙන් වෙන්නත් පුළුවන්.

ඒ වෙලාවට අපිට අලුත් දෙයක් උත්සාහ කරලා බළන්න ඕන නම්, ඊළඟට තියෙන ලේසිම option එක Linux මෙහෙයම් පද්ධතියක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

කොහොම වුණත් සාමාන්‍යයෙන් Windows වල ඉඳන් පළවෙනි වතාවට Linux පාදක කරගත් OS එකකට මාරු වෙනකොට අපිට මූලිකව ඉගෙනගන්න වෙන දේවල් ටිකක් තිබෙනවා. ගොඩක් වෙලාවට non-technical user කෙනෙක් නම්, ඒ ගැන ඉගෙනගන්න, ඒකට හුරු වෙන්න ටික දවසක් යනවා.

ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට Elementary OS එක භාවිතා කරන්න ඔයාට අවස්ථාව තිබෙනවා.

භාවිතා කරන්නාට ඉතාමත් පහසුවෙන්, අවම මූලික දැනුමකින් මේ OS එක භාවිතා කරන්න පුළුවන් වෙන්න තමයි මේ අය මේ OS එක නිර්මාණය කරලා තියෙන්නේ.

බැළුබැල්මටම මෙයට MacOS එකට සමාන පෙනුමක් තිබුණත් මේ OS එක නිර්මාණය කරන්න පාදක කරගෙන තිබෙන්නේ අපි කවුරුත් දන්න Ubuntu කියන Linux distribution එකයි.

Linux වලට ආවම ගොඩක් අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපිට ඕන නැති Software ගොඩක් pre-installed විදිහට එනවා වගේම, අලුතින් software install කරන්න ගියාම විවිධ ආකාරයේ අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙන එක.

නමුත් මේ Elementary OS එකේ මූලිකව install කරලා තියෙන්නේ අපිට එදිනෙදා ඕනම වෙන music player එකක්, web browser එකක්, file explorer එකක් වැනි කුඩා මෘදුකාංග ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ඔයාට තව softwares install කරගන්න ඕන නම්, එයාලගේම App Center එක හරහා ඔයාට ඕන කරන විදිහේ මෘදුකාංග install කරගන්නත් ඔයාට අවස්තාව ලැබෙනවා.

ඒ වගේම මේ OS එක ඔයාගේ එදිනෙදා වැඩ කරගන්න වගේම ඔයා programming වලට කැමැත්තක් දක්වනවා නම්, ඒ වගේ වැඩ වලටත් ගැලපෙන apps එකතු කරන්නට ඔවුන් අමතක කරලා නැහැ.

මේ Elementary OS එක ‍අපේ privacy එක ගැන හිතනවා වගේම අනිත් free services වල වගේ අපි ගැන තොරතුරු වෙනත් පාර්ශව වලට විකුණලා මුදල් උපයන්න එයාලා උත්සාහ කරන්නේ නෑ.

මෙයාලගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ OS එක ගන්න වෙලාවට කවුරුහරි කෙනෙක් ඒ වෙනුවෙන් කැමැත්තෙන් ලබා දෙන මුදල් හෝ AppCenter එක හරහා සිදු කරනු ලබන මිලදීගැනීම හරහා ලැබෙන ආදායම බව ඔවුන් ප්‍රකාශ කරනවා.

කොහොමද මේක Download කරගන්නේ?

මේ Elementary OS එක free and opensource මෘදුකාංගයක් වගේම මේකට මිලක් නියම කරන්නත් ඔවුන් කටයුතු කරලා නැහැ. ඒ කියන්නේ ඔයාට සල්ලි තියනවා නම්, ඔයා කැමති ගාණක් ගෙවලා මේක download කරගන්න පුළුවන්.

ඒත් ඔයාට මේ වෙනුවෙන් වියදම් කරන්න තරම් වත්කමක් නැතිනම්, ගෙවීමක් කරන්නේ නැතිව නොමිලයේම මෙය download කරගැනීමේ අවස්ථාව ලබා දීමට මොවුන් කටයුතු කර තිබෙනවා. ඒකට කරන්න තියෙන්නේ මේක download කරන තැන තිබෙන Custom amount එකක් enter කරන තැනට 0 ලෙස ඇතුලත් කරන එකයි.

මේ Elementary OS එක සඳහා අවම system requirement එකක් සඳහන් කර නැති වුණත්, ‍මෙහි හොඳම අත්දැකීම ලබා ගන්න නම් dual core හරි i3 වගේ processor එකක්, 4GB RAM එකක් සහ SSD එකක 15GB පමණ ඉඩකුත් සෑහෙන බව ඔවුන් සඳහන් කරනවා.

කොහොම නමුත් ඉහත සඳහන් කර තිබෙන system requirements වලංගු වෙන්නේ මේ OS එක භාවිතා කරන්න ඕන කරන උපරිම spec එක වන අතර ඔයාගේ පරණ පරිගණකයකට වුණත් මේ OS එක දාලා එදිනෙදා වැඩ කරගන්න ඔයාට තවමත් අවස්ථාව තිබෙනවා.

ඉතින් ඔයා මේ OS එක භාවිතා කරන්න උත්සාහ කරනවා නම්, ඒ පිළිබඳව ඔයාට තිබෙන ගැටළු, අදහස් වගේම අපිට මඟහැරුණු - නමුත් ඔයා දන්න කරුණු තියනවා නම්, අපේ Community එකට ඇවිත් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ Medium Blog එක භාවිතා කළ හැකි අතරම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා මේ OS එක download කරගැනීමේ හැකියාවත් තිබෙනවා.