කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත්කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීමේ අරමුණින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා Online ක්‍රමවේදයක් හදුන්වාදීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.

එමෙන් මෙම සේවාව භාවිතා කිරීමට අපේක්ෂා කරන්නන් හට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව මඟින් පරිශීලක අත්පොතක් නිකුත් කර තිබෙන අතර මේ අත්පොතේ සඳහන් ආකාරයට ඔබට පියවර කිහිපයක් සම්පූර්ණ කිරීමෙන් මෙම සේවාව ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම අත්පොතට අනුව ප්‍රථමයෙන්ම ඔබ online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස ඔබ මේ සේවාව භාවිතා කිරීමට කැමති භාෂාව තෝරා ගත යුතු අතර ඉන්පසු ඔබගේ දුරකථන අංකය ඇතුළු මූලික විස්තර කිහිපයක් ලබා දී ඔබගේ දුරකථන අංකයට ලැබෙන "PIN Code" එක වෙබ් අඩවියට ලබා දීමෙන් ඔබගේ දුරකතන අංකය Verify කර ගත යුතු වනවා.

ඉන්පසු ඔබට අවශ්‍ය සේවාවට අදාල විස්තර මෙම වෙබ් අඩවියට ලබා දිය යුතු අතර මෙහිදී ඔබට අවශ්‍ය උපත්, මරණ හෝ විවාහ සහතික Registered Post හෝ Courier ක්‍රමයක් භාවිතා කරමින් නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගැනීමට හැකියාව පවතිනවා.

සියලු විස්තර නිවැරදිව ලබා දුන් පසු ඔබ මෙම සේවාවට අදාල ගෙවීම සිදු කළ යුතු අතර මෙහිදී Master හෝ Visa කාඩ් පත් භාවිතයෙන් ගෙවීම් කිරීමට හැකියාව පවතිනවා.

රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව නිළ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට මෙම සේවාව 2021.08.04 දින සිට ආරම්භ කරන අතර ඔබත් මෙම සේවාව භාවිතා කළහොත් අප‌ගේ Facebook Community එක හරහා මේ සේවාව සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම සියලු දෙනා හා බෙදා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.