චීන රජය විසින් ඇමෙරිකානු රජය, Apple සමාගම, Amazon සමාගම ඇතුළු ආයතන 30 කට අධික ප්‍රමාණයක servers වලට ඇතුලු වී තොරතුරු ලබා ගැනීම සඳහා මේ servers වල motherboards නිෂ්පාදනය කිරීමේදී එයට ඇතුලත් කරන ලද Chip එකක් ගැන තොරතුරු අනාවරණය කිරීමට Bloomberg වෙබ් අඩවිය කටයුතු කර තිබෙනවා.

Bloomberg වෙබ් අඩවිය සඳහන් කරනු ලබන ආකාරයට මෙම chip එක ගැන තොරතුරු මුලින්ම අනාවරණය කරගැනීමට සමත් වී තිබෙන්නේ Apple සමාගම විසින් වන අතර ඔවුන් එය ඇමෙරිකානු රජයට දන්වා තිබෙනවා. ඒ අනුව මේ වන විට මේ හරහා සොරාගත් තොරතුරු පිළිබඳව FBI ආයතනය විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

මෙය සිදු වී තිබෙන්නේ SMC එහෙමත් නැතිනම් Supermicro යන ඇමෙරිකානු සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කළ නිෂ්පාදන හරහා වන අතර මේ සඳහා ඇතුලත් කර තිබුණු Chip එක ඉතාමත් කුඩා ප්‍රමාණයෙන් සකස් කිරීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

මේ Supermicro සමාගම ලොව විශාලතම server motherboard නිෂ්පාදකයින්ගෙන් කෙනෙකු වන අතර ලොව පුරා තාක්ෂණික දැවැන්තයන් භාවිතා කරනු ලබන MRI යන්ත්‍ර වල සිට අධිබලැති යාන්ත්‍රික ආයුධ පද්ධති දක්වා නිෂ්පාදන වලට මෙම සමාගම විසින් සපයනු ලබන Motherboards භාවිතා කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

හිටපු ඇමෙරිකානු ආරක්ෂක නිළධාරියෙක් Bloomberg වෙබ් අඩවියට ප්‍රකාශ කර සිටි පරිදි,

"Hardware ලෝකයේදී Supermicro කියන්නේ Microsoft වගේ දැවැන්තයෙක්. Supermicro එකට පහරදෙනවා කියන්නේ Windows වලට පහර දෙනවා වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුළු ලෝකයටම පහරදෙනවා වගේ."

මේ වන විට මේ ආරක්ෂක දුර්වලතාවය සහිත server පරිඝනක ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ data center වලත්, CIA එකේ drone operations වලත්, නාවික හමුදාවට අයත් වන යුධ නෞකා වලත් භාවිතා කරනු ලබන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මීට අමතරව Apple සමාගම, Amazon සමාගම, Facebook සමාගම සහ ප්‍රසිද්ධ බැංකුවක් ඇතුළු ආයතන 30 ක පමණ භාවිතා කළ පරිඝනක දහස් ගණනක් මෙලෙස ආරක්ෂාව පිළිබඳ දැවැන්ත ගැටළුවකට මුහුණ පා තිබෙනවා.

කොහොම වුණත් FBI ආයතනය, ඇමෙරිකානු බුද්ධි අංශය ඇතුළු ආරක්ෂාව පිළිබඳ ආයතන විසින් මේ පිළිබඳව මෙයින් පිට වූ දත්ත පිළිබඳව සෙවීමට කටයුතු කරනු ලබන අතර මේ පිළිබඳව තොරතුරු ලබාදෙන්නෙකුට විශාල ත්‍යාගයක් පිරිනැමීමටත් ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මෙය සාමාන්‍යයෙන් සිදු කරන මෘදුකාංග (computer virus) හරහා කරනු ලැබූ පහරදීමක් නොවන නිසාවෙන් මේ මගින් පිටවූ දත්ත ගැන තොර‍තුරු සෙවීමට ඉතාමත් අපහසු වන බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය, techcrunch වෙබ් අඩවිය සහ bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.