මේ වන විට අපි භාවිතා කරන අන්තර්ජාලය මුලින්ම නිර්මාණය වුණේ CERN එහෙමත් නැතිනම් European Organization for Nuclear Research කියන ආයතනය තුලයි.

ඉතින් වසර 30කට පෙර, 1989 වර්ෂයේදී එහි සිටි ඉන්ජිනේරුවන් විසින් ලොව මුල්ම HyperText Browser එක නිෂ්පාදනය කිරීමේ සංවත්සරයට සමගාමීව, දැනට එහි සේවය කරන developers ලා විසින් මේ Browser එක නැවතත් ලොවට දැකගැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ හරහා ලොව මුල්ම hypertext web browser එක හරහා අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී තිබෙන අතර 1990 දශකයේදී අන්තර්ජාලයේ පෙනුම ගැන අවබෝධයක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා.

මේ සංවත්සරය වෙනුවෙන් ඉහත සඳහන් කළ Web Browser එක, ඒ කාලයේ තිබුණු Coding පිළිබඳව, ඉතිහාසය, වසරින් වසර එය වැඩි දියුණු වූ ආකාරය මෙන්ම භාවිතා කළ fonts ගැන ද විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කරමින් මේ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

කවුරුහරි කෙනෙක් අපෙන් "ලෝක ව්‍යාප්ත ජාලයේ, එහෙමත් නැතිනම් World Wide Web එකේ පියා කවුද?" කියන ප්‍රශ්නය නැගීමට කටයුතු කළහොත්, Google කරලා "Tim Berners-Lee" කියන නම කියන්නට අපි පුරුදු වෙලා හිටියත්, ඔහුගේ නිර්මාණයන් සැබැවින්ම කොයි ආකාරයේ වූවේද යන්න අපිට මේ වනතුරු දකින්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ project එක හරහා එය නැවත වරක් ලෝකයා හට දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා WorldWideWeb.cern.ch වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.