ගොඩක් වෙලාවට අපි අතරින් කෙනෙක් paralyze වුණොත්, එහෙමත් නැතිනම් ශරීරයේ කොටසක් අප්‍රාණික වුණොතින්, එයාට අනෙක් අයත් එක්ක සන්නිවේදනය කරන්න තිබෙන හැකියාව අහිමි වෙලා යන්න හැකියාවක් තිබෙනවා.

නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔන්න දැන් මොලයේ තරංග හරහා සාමාන්‍යය tablet පරිගණකයක් පාළනය කළ හැකි ආකාරයේ තාක්ෂණයක් අත්හදා බැලීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මේ අනුව ගෙල සිට පහල කොටස අප්‍රාණික තිදෙනෙකුට "Braingate 2" නමින් හැදින්වෙන ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත පද්ධතියක් උපයෝගි කොට ගෙන තම යහලුවන්ට පනිවුඩ යැවීම, අන්තර්ජාල භාවිතය හා සංගීතය ඇසීම යන කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ නව සොයාගැනීම මගින් ස්නායු සම්බන්ධ රෝග, විවිධ ආබාධ හා ශරීර අංග ඉවත් කිරීම් වලට ලක් කර ඇති පුද්ගලයින් හට අනාගතයේදී ඉතා විශාල, යහපත් බලපෑමක් සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම පද්ධතිය සදහා මොලය තුලට බද්ධ කරන ලද ක්ශුද්‍ර ඉලෙක්ට්‍රෝඩ පිලියෙල කිරීමක් භාවිත කෙරෙන අතර මේ හරහා ලබාගන්නා ස්නායු සංඥාවන් ශරීර අවයවයක් චලනය කිරීමේ අරමුණකින් සමන්විත වෙනවා මෙන්ම අදාල අවස්ථාවේදීම (real-time) එම සංවේදන පිටතට ලබා දීමට මෙයට හැකියාව තිබෙනවා.

මෙම පද්ධතියේ අත්හදා බැලීම් සඳහා සහභාගි වූවන්ගේ මොලයේ චලන පාලනය කරන පෙදෙසට ඉලෙක්ට්‍රෝඩ සැකැස්ම බද්ධ කොට මේ පරීක්ෂණය සිදු කොට ඇති අකර පරිගනක තිරයක් මත cursor එක චලනය කිරීමේ සිතුවිල්ල සිතීමට සලස්වා එම ආදර්ශයන් ටැබ්ලට් පරිගනකයකට සම්බන්ධ (wireless) mouse එකක් වෙත යවා ඇත.

ඔවුන්ගේ අරමුනු පමණක් භාවිත කරමින් අන්තර්ජාල භාවිතය, Email යැවීම ඇතුළු සාමාන්‍ය කටයුතු රැසක් සිදු  කිරීමට මොවුන් හට හැකිවී තිබෙනවා. මීට අමතරව එක් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමට හා ඩිජිටල් පියානෝවක් වාදනය කිරීමටද සමත් වී තිබෙනවා.

එමෙන්ම මෙම පද්ධතිය භාවිතා කරමින් පුද්ගලයින් දෙදෙනෙකු අතර එකම වෙලාවේදි කතාබහක් සිදුකිරීමටද හැකියාව ලැබී තිබෙනවා.

පරිගණකය - මොළය අතර අතුරු මුහුනත් තාක්ෂණය හඳුන්වා දී මේ වන විට වසර කිහිපයක් ගතවී තිබෙන නමුත් මෙම "Braingate 2" පද්ධතියේ සුවිශේෂීත්වය වන්නේ කිසිසේත්ම වෙනස් කමක් නොකරන ලද උපකරණ හා අමතර විශේශාංග කිසිවක් නොමැතිව, සාමාන්‍යයෙන් අපි භාවිතා කරන උපකරණ ම ක්‍රියාත්මක කල හැකි වීමයි.

අධ්‍යයන වාර්තා වලට අනුව සාමාන්‍ය ටැබ්ලට් පරිගනකයක භාවිත වෙන සියලු (click කිරීම, drag කිරීම වැනි) ක්‍රියාකාරීත්වයන් මෙහිදී සිදු කිරීමට නොහැකි වුවත් මෙම පරීක්ෂණයට සහභාගි වූවන්, අදාල interfaces පහසුවෙන් හැසිරවීමට සමත් වී තිබෙනවා.

මෙම පද්ධතියට, web browser එකක් මත ඉහල පහල යෑම් (scrolling) වැනි අංග තවමත් හඳුන්වා දී නැති නමුත් ඉදිරියේදි මෙවැනි සීමාවන් මැඩලීමට ඇන්ඩ්‍රොයිඩ් හා තුන්වන පාර්ශවයේ විවිධ වැඩසටහන් මගින් විවිධ විශේෂාංගයන් හඳුන්වා දිය හැක.

කෙසේ වෙතත් මෙවැනි සීමාසහිත ක්‍රියාකාරකම් හා පරිසර තත්වයන් යටතේ ජීවිත ගත කරන පුද්ගලයන් හට මිල අධික උපකරණ ආදිය නොමැතිව සන්නිවේදන කටයුතු සිදු කිරීමට හා එදිනෙදා වැඩකටයුතු වලින් බොහෝ ප්‍රමාණයක් තවකෙකෙුගේ උපකාරයක් නොමැතිව සිදු කිරීමට හැකි වන නිසා, ස්වල්ප වශයෙන් හෝ යථා තත්වයට පත්වීමට හැකි බව මොවුන් පෙන්වා දෙනවා.

තාක්ෂණයේ දියුණුවත් සමඟ වැඩිදියුණු වන මෙවැනි නව නිපැයුම් හා ඒවායේ පුළුල් වර්ධනයක් මගින් ලොව පුරා සිටින මෙවැනි අසරණ පුද්ගලයින් හට ඉතා විශාල ධනාත්මක බලපෑමක් සිදු කල හැකි බව මේ අනුව පැහැදිළි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Brain Gate වෙබ් අඩවිය, engadget වෙබ් අඩවිය හා නිළ IEEE වෙබ් අඩවිය භාවිතා කළ හැක.