පසුගිය සතිය ඇතුලත IT management company එකක් වන SolarWinds ආයතනයට සහ එහි තොරතුරු පද්ධති වලට සයිබර් ප්‍රහාරයන් කිහිපයක් එල්ලවූ අතර, එය රුසියානු රජය විසින් මෙහෙයවනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

විශේෂයෙන්ම ඇමෙරිකානු රාජ්‍යය භාණ්ඩාගාරය (US Treasury), වාණිජ දෙපාර්තමේන්තුව, රාජ්‍යය දෙපාර්තමේන්තුව (Department of State), බළශක්ති දෙපාර්තමේන්තුව (Department of Energy) සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) යන ආයතන වල තොරතුරු මේ හරහා හැකර්වරුන් අතට පත්ව තිබෙනවා.

මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු රාජ්‍යය ආයතන සියල්ලකම භාවිතා වන SolarWinds තොරතුරු පද්ධති සියල්ල වසා දැමීමට ඇමෙරිකානු රජය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව ලොව විශාලතම tech companies ගණනාවක් ද මේ හරහා අගතියට පත්ව ඇති අතර Cisco, Intel, Nvidia, Belkin, VMware සහ Microsoft වැනි ආයතන වල ‍මීට අදාල malware එක පැතිර ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

මේ SolarWinds ආයතනය විසින් ලොව පුරා ආයතන 300,000කට අධික ප්‍රමාණයකට තම සේවාව සපයනු ලබන අතර, මේ අතර ඇමෙරිකානු හමුදාව සහ ලොව විශාලතම ආයතන 500 ද ඇතුලත් වෙනවා.

කෙසේ නමුත් මේ අතරින් මෙම ආරක්ෂක දුර්වලතාවය ඇති මෘදුකාංගය භාවිතා කරනු ලබන්නේ ආයතන 18,000ක් පමණක් වන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, දැනටමත් එම දුර්වලතාවය වසාදැමීමට අවශ්‍යය කරන update එකක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, WallStreetJournal වෙබ් අඩවිය සහ The Hacker News වෙබ් අඩවිය භාවිතා කළ හැක.